ජපන් නියෝජිතයින් 250කගේ සහභාගීත්වයෙන් ‘Little Japan’ වැඩසටහන ශ්‍රී ලංකාවේදී සාර්ථක ආරම්භයක් සනිටුහන් කරයි

    August, 4, 2026

    ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් Little Japan සංස්කෘතික හුවමාරු වැඩසටහන හරහා ජාත්‍යන්තර මට්ටමින් සුවිසල් ඉදිරි පියවරක් තැබීමට Colombo International Airport Hotel කටයුතු යොදා ඇත. ඒ අනුව, මෙරට ඉතිහාසයේ පුද්ගලික අංශය විසින් සංවිධානය කරනු ලබන විශාලතම ජපන් සංචාරක නියෝජිත පිරිස පිළිගැනීමට ඔවුන් සූදානමින් සිටියි. එහිදී අගෝස්තු මස අවසන් දින කිහිපයේදී 250 කට අධික ජපන් සංචාරකයන් පිරිසක්  දින කිහිපයක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම සුවිශේෂී නියෝජිත පිරිස මෙරටට ගෙන්වා ගැනීමට මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ ආචාර්ය රුවන් පෙරේරා මහතාය. Colombo International Airport Hotel හි සභාපති වරයා ලෙස කටයුතු කරන ඒ මහතා බොහෝ කාලයක සිට ජපන් - ශ්‍රී ලංකා සබඳතා ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කැපවී කටයුතු කරයි.

    සිය ජීවිතයෙන් අඩකටත් වඩා වැඩි කාලයක් ජපානයේ ජීවත්වී ඇති ආචාර්ය රුවන් පෙරේරා මහතා, ගෝලීය පේටන්ට් බලපත්‍ර  කිහිපයකටම හිමිකම් කියන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි. එම කාලය තුළ තමන් ලද අත්දැකීම් දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා වන ඒ මහතාගේ කැපවීම ඉහළ නැංවීමට හේතුවක් විය. ජපානය සමඟ පවතින එපෞද්ගලික සබඳතාවය, දශකයකටත් වඩා වැඩි කාලයක් පුරා දෙරට අතර අඛණ්ඩව සිදුකළ වැඩසටහන් මාලාවක් බවට පත් විය. ඒ අනුව Little Japan යනු එක් වරක් පමණක් සංවිධානය කරන උත්සවයක් නොව, සංචාරක ව්‍යාපාරය, වෙළෙඳාම සහ ආයෝජන සඳහා දෙරට යා කරන සැබෑ පාලමක් බවට පත්ව තිබේ.

    සිය Little Japan යටතේ ජපානය සහ ශ්‍රී ලංකාව එකිනෙකට සමීප කරවීම සඳහා සුවිසල් ඉතිහාසයක් නිර්මාණය කර ඇති ආචාර්ය පෙරේරා මහතා 2018 සහ 2019 වර්ෂවලදී Japan Expo ප්‍රදර්ශනයද, 2020 වසරේදී Japan Festival ද සංවිධානය කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී. ඉන්පසුව 2024 වසරේදී ජපන් ජාතික මව්වරුන් 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙරට සංචාරය සඳහා ගෙන්වා ගැනීමටත්, 2025 වසරේදී 45 දෙනෙකුගෙන් යුත් ජපන් ව්‍යාපාරික නියෝජිත පිරිසකට  සත්කාරකත්වය සැපයීමටත් ඒ මහතා කටයුතු කර ඇත. මේ වසරේ පැමිණෙන 250කට අධික ජපන් නියෝජිත පිරිස මෙතෙක් පැමිණි විශාලතම නියෝජිත කණ්ඩායම බවට පත් වනු ඇත.

    ජපානය සමඟ වන මෙම සබඳතාව සංචාරක ව්‍යාපාරයට සහ වෙළෙඳාමට පමණක් සීමා නොවී, සමාජ සේවා කටයුතු වෙනුවෙන් යොදා ගැනීමටද කටයුතු කර ඇති ආචාර්ය පෙරේරා මහතා මේ වන විට ශ්‍රී ලංකාව පුරා පිහිටි පාසල් 50කට වඩා වැඩි ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට සිය දායකත්වය ලබා දී ඇත. ගෝලීය වසංගත කාලසීමාව තුළදී වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු 40 දෙනෙකුගෙන් යුත් ජපන් නියෝජිත පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට ද ඒ මහතා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.  එහිදී එම පිරිස විසින් රුපියල් මිලියන 10කට වඩා වැඩි මූල්‍ය ආධාර මෙන්ම කිලෝග්‍රෑම් 800කට අධික අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කොළඹ මහ රෝහල වෙත පරිත්‍යාග කිරීමට කටයුතු කරනු ලැබූහ. ආචාර්ය පෙරේරා මහතාට අනුව, Little Japan ව්‍යාපාරික සැලසුමෙහි ප්‍රධානතම ශක්තිය වන්නේද මෙම අඛණ්ඩ දිගුකාලීන කැපවීමයි. එමඟින් ගොඩනැඟෙන අන්‍යෝන්‍ය විශ්වාසය සහ සුහදශීලී බව, ජපන් ආයෝජකයන්ට සහ ව්‍යාපාරවලට ශ්‍රී ලංකාව සමඟ විශ්වාසයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනු ඇත.

    මෙම නියෝජිත පිරිස මෙරටට පැමිණීමේදී සහ නැවත පිටත්ව යාමේදී කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි සංචාරක ගමනාන්ත රැසක් වෙත සංචාරය කිරීමට කටයුතු යොදා ඇත. Japan Returns to Sri Lanka යන තේමාව යටතේ මෙම සම්පූර්ණ වැඩසටහන සංවිධානය කර ඇති අතර, එමඟින් දෙරට අතර සංචාරක ව්‍යාපාරයේ සහ වෙළෙඳ සබඳතාවන්හි නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරනු නිසැකය.

    මේ සම්බන්ධයෙන් අදහස් එක් කළ Little Japan හි නිර්මාතෘ මෙන්ම Colombo International Airport Hotel හි සභාපති ආචාර්ය රුවන් පෙරේරා මහතා “මෙම පැමිණීම හුදෙක් සංචාරයක් පමණක් නොව, ජපානයේ සංචාරක සහ ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය ලොවට කියාපාන අවස්ථාවක් වනවා. සංචාරයකට වඩා එහා ගිය, ජපානයේ සංචාරක සහ ව්‍යාපාරික ප්‍රජාව විසින් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන ලද දැඩි විශ්වාසය පිළිබඳ ප්‍රබල පණිවිඩයක් ලෙසද මෙය පෙන්වා දිය හැකියි. මේ අයුරින් 250 කට අධික අමුත්තන් පිරිසක් එකට එකතු කර මෙරටට ගෙන්වා ගැනීමට හැකිවීම, රටවල් දෙක අතර පවතින පුද්ගලික සහ වාණිජ සබඳතා නැවත ශක්තිමත් කර ගැනීම සඳහා තැබූ ඉතා වැදගත් පියවරක් වන අතර එය යථාර්තයක් බවට පත්කර ගැනීමට හැකිවූ ප්‍රධානතම වැඩසටහනක් බවට Little Japan පත් වීම පිළිබඳව ඉතාමත් සතුටුයි.” යනුවෙන් සඳහන් කරන ලදී.

    එමෙන්ම මෙම නියෝජිත පිරිසගේ පැමිණීම Colombo International Airport Hotel සහ Little Japan වැඩසටහන ලද සුවිශේෂී ජයග්‍රහණයක් වන අතර, ජපන් ආයෝජකයන්, ව්‍යාපාරිකයන් සහ සංචාරකයන් ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව සම්බන්ධ කිරීමේ ආචාර්ය රුවන් පෙරේරා මහතාගේ දිගුකාලීන දැක්ම ඒ තුලින් මනාව පිළිබිඹු වේ. ඉදිරි වසර කිහිපය පුරා ජපන් සංචාරකයන්, ආයෝජකයන් සහ එරට ප්‍රමුඛ ආයතන සමඟ සමීපව කටයුතු කරමින්, මෙම සාර්ථකත්වය තවදුරටත් ඉහළ නැංවීම සඳහා මෙම ආයතනය කැපවී කටයුතු කරනු ඇත.

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල පිහිටි, ජපානයේ පූර්ණ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන සුඛෝපභෝගී ආගන්තුක සංචාරක හෝටල් පරිශ්‍රයක් ලෙස Colombo International Airport Hotel සඳහන් කළ හැකිය. මෙය ශ්‍රී ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර නියෝජිත පිරිස්, ගුවන් ගමනකින් තවත් ගුයන් ගමනකට මාරුවන සංචාරකයන් සහ ව්‍යාපාරික අමුත්තන් සඳහා ප්‍රධානතම පිවිසුම් දොරටුවක් ලෙසද සේවාවන් ලබා දෙයි.

    Little Japan යනු ජපන් සංචාරකයන්, ව්‍යාපාර සහ ආයතන, ශ්‍රී ලංකාවේ සංචාරක ගමනාන්ත, ව්‍යාපාරික ආයතන සහ විවිධ ප්‍රජාවන් සමඟ සම්බන්ධ කරනු ලබන සුවිශේෂී වැඩසටහනකි. එමඟින් දෙරට අතර සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කරන අතරම, ද්විපාර්ශ්වික ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටද කටයුතු කරයි. Little Japan වැඩසටහන Colombo International Airport Hotel හි සුවිශේෂී වැඩසටහනක් යටතේ ක්‍රියාවට නංවනු ලබයි.