August, 5, 2026
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) ලෝක පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කළ දැනුවත් කිරීමේ සහ ක්‍රියාකාරී වැඩසටහනේදී, පරිසරය සුරැකීම වසරකට එක් දිනයක් වෙනුවෙන් සිදුකරන සැමරුමක් නොව, සෑම දිනකම අනුගමනය කළ යුතු වගකීමක් බව ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා අවධාරණය කළේය. ආයෝජන මණ්ඩලීය ශ්‍රවණාගාරයේ පැවති මෙම වැඩසටහනේදී කාර්ය මණ්ඩලය අමතමින් ඔහු සඳහන් කළේ, පරිසර සංරක්ෂණය දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැලකිය යුතු බවයි.
අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ පරිසරය හා නිෂ්පාදන ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග කෙටි කාලයක් තුළ විසඳිය නොහැකි අතර, තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීමට අඛණ්ඩ, ක්‍රමානුකූල සහ දිගුකාලීන උත්සාහයන් අවශ්‍ය බවයි. භූමිය හා පරිසරය ආරක්ෂා කිරීම වරින් වර සිදුකරන කාර්යයක් නොව, සෑම දිනකම ඉටු කළ යුතු ජාතික වගකීමක් බවද ඔහු අවධාරණය කළේය.
රටට විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ප්‍රමුඛ ආයතනය ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට, රටේ තිරසාර සංවර්ධන ප්‍රමිතීන් ආරක්ෂා කරමින් ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ සුවිශේෂී වගකීමක් පවතින බව ද ඔහු සඳහන් කළේය. ඒ අනුව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය අනුමත කරන සියලු ආයෝජන ව්‍යාපෘති සාක්ෂි මත පදනම් වූ පරිසර හිතකාමී සහ තිරසාර නිෂ්පාදන ක්‍රමවේද අනුගමනය කළ යුතු අතර, යහපත් නිෂ්පාදන ක්‍රමවේද (Good Manufacturing Practices - GMP) සහ තිරසාර සැපයුම් දාම කළමනාකරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ද පෙන්වා දුන්නේය.
ස්වභාවධර්මය සමඟ සහජීවනයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පරිසර පද්ධතිය මඟින් ලබාදෙන ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය වීමේ පාඩම් සංවර්ධන සැලසුම් තුළ ප්‍රායෝගිකව යොදාගත යුතු බව සඳහන් කළේය. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රි ලංකාව සතුව ප්‍රමාණවත් හැකියාවන් පවතින අතර, එම සම්පත් සහ නීතිමය බලතල කාර්යක්ෂමව භාවිතා කරමින් ක්ෂේත්‍ර මට්ටමින් සැබෑ වෙනසක් ඇති කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.
හරිත පරිසර හිතකාමී සැබෑ වටිනාකම් එකතු කළ තිරසාර සැපයුම් ජාලයකට අදාළව භාණ්ඩ හෝ සේවාවන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යුරෝපීය ත්ත්වයන්ට (EU) ගැලපෙන, සැසඳෙන පිළිගත් පිළිවිතර සඳහා යොමු විය යුතුය. වැඩසටහන අවසානයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, යහපත් නිෂ්පාදන ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීම, පරිසර දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පුළුල් කිරීම, තිරසාර භූමි භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ සාම්ප්‍රදායික දැනුම නවීන පාරිසරික හා නිෂ්පාදන ප්‍රතිපත්ති සමඟ ඒකාබද්ධ කිරීම සඳහා සිය අඛණ්ඩ කැපවීම යළිත් තහවුරු කළේය.
මෙම වැඩසටහන, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් විදේශීය සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ සිය මෙහෙවර තුළ තිරසාර සංවර්ධන මූලධර්මයන් තවදුරටත් තහවුරු කිරීම සඳහා ගෙන යන අඛණ්ඩ වැඩපිළිවෙළේ තවත් වැදගත් පියවරකි. ආර්ථික වර්ධනය සමඟ පරිසර සංරක්ෂණයද සමගාමීව ඉදිරියට ගෙන යමින්, ශ්‍රී ලංකාව තිරසාර සහ වගකීම් සහගත ආයෝජන ගමනාන්තයක් ලෙස තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සිය කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත.
Video Story