ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි විශිෂ්ටත්වය අගයන ‘2026 ජාතික AI සම්මාන’ සඳහා අයදුම්පත් කැඳවයි

    August, 5, 2026

    2026 අගෝස්තු 15 වැනිදාට පෙර අයදුම් කර, ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම AI පුරෝගාමීන් අතරට එක්වන්න 

    ‘Sri Lanka AI Week’ වැඩසටහනේ කොටසක් ලෙස සංවිධානය කරනු ලබන AI Amplified’ ජාතික AI සම්මාන උළෙල සඳහා දැන් අයදුම්පත් භාරගැනේ.

    ශ්‍රී ලංකාව තුළ මේ වන විට කෘත්‍රිම බුද්ධිය (AI) පරිවර්තනීය මෙවලමක් බවට පත්වෙමින් තිබේ. එම තාක්ෂණය මඟින් දේශීය කර්මාන්ත හා ප්‍රජාවන් විප්ලවීය වෙනසකට ලක්කරමින්, ඒවා නවතම තලයකට ඔසවා තබමින් පවතී. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ පුරෝගාමීත්වයෙන්, SLT-MOBITEL හි දායකත්වය සහිතව සංවිධානය කෙරෙන ජාතික AI සම්මාන උළෙල, Sri Lanka AI Week වැඩසටහනේ වඩාත්ම කැපීපෙනෙන අංගයක් බවට පත් වී ඇති අතර, එය මෙරට AI අනාගතය හැඩගස්වන නායකයන් සහ නවෝත්පාදකයන් එකම වේදිකාවකට රැගෙන එන ඉසව්වක් වනු නිසැකය.

    2026 ඔක්තෝබර් 04 දින පැවැත්වීමට නියමිත මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත, විශ්ව විද්‍යාල, ආරම්භක මට්ටමේ ව්‍යාපාර සහ රාජ්‍ය සේවය යනාදී අංශ තුළ AI තාක්ෂණය සම්බන්ධයෙන් අත්කරගෙන ඇති විශිෂ්ට ප්‍රගතිය ප්‍රදර්ශනය කෙරෙනු ඇත. එමෙන්ම නවෝත්පාදනය දිරිගන්වමින් AI සම්බන්ධයෙන් ජාතික මට්ටමේ ප්‍රමිතීන් ස්ථාපිත කිරීමට දායක වූ පුරෝගාමීන් රාශියක් මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීමට නියමිතය.

    රටේ විවිධ කර්මාන්තවල සාධනීය පරිවර්තන ඇතිකිරීමට දායක වූ සහ එම පරිවර්තනයන්ට නායකත්වය දුන් පුද්ගලයන්, කණ්ඩායම් සහ අදහස්ද ජාතික AI සම්මාන උළෙලේදී ඇගයීමට ලක් කිරීමට සැලසුම් කර ඇත.

    ජාතික AI සම්මාන යටතේ National AI Trailblazer Awards, Industry & Sector Excellence Awards, Innovation & Future-Focused Awards සහ AI Content Creators of the Year ඇතුළු විවිධ කාණ්ඩ යටතේ සම්මාන පිරිනැමීමට නියමිතය.

    AI ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමේ බලපෑම් සහ නායකත්වයන් ඇගයීම සඳහා National AI Excellence Award, National AI Leadership Excellence Award, National AI Impact Excellence Award සහ National AI Export Excellence Award යනාදී ජාතික තලයේ සම්මාන පිරිනමනු ලැබේ.

    රටේ ප්‍රධාන ක්ෂේත්‍ර තුළ සිදු වන AI පරිවර්තනය ඇගයීම සඳහා Industry Innovation Awards කාණ්ඩය යටතේ කෘෂිකර්මාන්තය, නිෂ්පාදන කර්මාන්තය සහ කර්මාන්ත 5.0 නවෝත්පාදන තාක්ෂණය, බැංකුකරණය, මූල්‍ය හා රක්ෂණ සේවා, අධ්‍යාපනය, සෞඛ්‍ය හා ජීව විද්‍යා ක්ෂේත්‍ර සහ ජනමාධ්‍ය යන ක්ෂේත්‍ර ආවරණය කරමින් සම්මාන පිරිනැමෙනු ඇත.

    AI නවෝත්පාදනයේ නව රැල්ල ඇගයීමේ අරමුණින් Innovation & Future-Focused Awards කාණ්ඩය යටතේ සම්මාන පිරිනැමේ. මෙම සම්මාන අතරට Best AI Startup/MSME Innovation, University AI Innovation, Best Agentic AI Solution, Women in AI Leadership සහ Best Sinhala/Tamil AI & Localisation Innovation යන සම්මාන ඇතුළත් වී ඇත.

    නිර්මාණශීලීත්වය සහ දැනුම් හුවමාරුව සම්බන්ධයෙන් AI තාක්ෂණයේ බලපෑම මේ වන විට වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර, මෙම ප්‍රවණතාව අගයමින් බලපෑම් සහගත, වගකීම් සහගත සහ නව්‍ය අන්තර්ගතයන් නිර්මාණය කිරීම සඳහා AI තාක්ෂණය විශිෂ්ට ලෙස භාවිතා කරන පුද්ගලයන් සහ කණ්ඩායම් වෙනුවෙන් AI Content Creators of the Year (Individual/Team) කාණ්ඩය යටතේ සම්මාන පිරිනැමේ. මේ යටතේ AI Educational Content Creator Award, AI Video & Storytelling Creator Award, AI Social Impact Content Creator Award, AI FutureTech Content Creator Award සහ AI Cultural Heritage & Tourism Content Award යන සම්මාන පිරිනැමීමට නියමිතය.

    ශ්‍රී ලංකාවේ AI ගමනේ කොටස්කරුවන් වීමට කැමති සියලුම දෙනාට මෙම සම්මාන සඳහා අයදුම් කළ හැක. www.aiexpo.lk/ai-awards ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අතර, 2026 අගෝස්තු 15 වැනිදා දක්වා අයදුම්පත් භාරගැනේ.