August, 11, 2026
John Keells CG Auto (JKCG Auto) සමාගමේ මූලිකත්වයෙන් BYD සන්නාමය ශ්‍රී ලංකාව තුළ ඉතා වේගවත් වර්ධනයක් අත්කර ගනිමින් සිටී. මෙම සාර්ථකත්වය සහ සමාගමේ අලෙවියෙන් පසු සේවා ජාලයේ පුළුල් වීම නිරීක්ෂණය කිරීම සඳහා BYD හි ජාත්‍යන්තර ප්‍රධානීන් දෙදෙනෙකු වන BYD හි ආසියා-පැසිෆික් මෝටර් රථ අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, Ketsu Zhang සහ BYD හි ආසියා පැසිෆික් අලෙවියෙන් පසු සේවා ප්‍රධානී, Peter Feng යන මහත්වරුන් මෑතකදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය. මෙම සංචාරයේදී, ශ්‍රී ලංකාව පුරා වේගයෙන් වර්ධනය වන අති නවීන පහසුකම්වලින් සමන්විත අලෙවියෙන් පසු සේවාව ඔවුන්ගේ සුවිශේෂී ඇගයීමට ලක්විය. එමෙන්ම එහිදී ශ්‍රී ලංකාව තුළ වාහන සේවා වාර 20,000ක් සාර්ථකව සම්පූර්ණ කිරීමේ සන්ධිස්ථානය ද සනිටුහන් කෙරිණි. ලොව අංක 1 නව බල ශක්ති වාහන (NEV) සන්නාමය වන BYD හි ගෝලීය ගමන් මග තුළ ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රබල සහ වැදගත් වෙළඳපොළක් බවට පත්ව ඇත.
වාහන ආනයනය නැවත ආරම්භ වී මාස නවයක් ඇතුළත, ලියාපදිංචි කරන ලද සමස්ත අලුත් (brand-new) වාහනවලින් 37%කට ආසන්න ප්‍රමාණයක් සහ විදුලි වාහන (EV) ලියාපදිංචියෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් හිමිකර ගැනීමට BYD සමත්ව ඇත.
“දකුණු ආසියාව තුළ BYD සන්නාමයට ඇති වඩාත්ම සුවිශේෂී සහ වැදගත් වෙළඳපොළක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගත හැකියි. JKCG Auto විසින් මෙරට තුළ විකුණුම් මෙන්ම අලෙවියෙන් පසු සේවා යටිතල පහසුකම් යන අංශ දෙකෙහිම ගොඩනගා ඇති ශක්තිමත් පදනම මගින් දිගුකාලීන හවුල්කරුවෙකුගෙන් අප බලාපොරොත්තු වන ඉහළ කැපවීම සහ ක්‍රියාකාරීත්වය මනාව පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකා වෙළඳපොළ තුළ තවමත් අනාගත අවස්ථා රැසක් ඇති බව අප දකිනවා. එමෙන්ම, මෙම වෙළඳපොළේ වේගවත් වර්ධනයට සමගාමීව වාහන හිමිකරුවන්ගේ අත්දැකීම තවදුරටත් ඉහළ නැංවීම සඳහා අප ඉදිරියටත් වැඩි අවධානයක් යොමු කරනවා,” යනුවෙන් Ketsu Zhang මහතා පැවසීය.
අලෙවියෙන් පසු සේවා ජාලයේ පුළුල් වීම
BYD සන්නාමය නව වෙළඳපොළකට පිවිසීමේදී, ආරම්භයේ සිටම විකුණුම් සැලසුම්වලට සමගාමීව අලෙවියෙන් පසු සේවා හැකියාවන් ද ක්‍රමානුකූලව සැලසුම් කරනු ලබයි. එහිදී පළමු දිනයේ සිටම විකුණුම් ඉලක්කවලට සමාන්තරව, ඉදිරියේදී ඇති වන සේවා ඉල්ලුම පිළිබඳව ද නිවැරදි තක්සේරුවක් සකස් කෙරේ. ලොව පුරා නව වෙළඳපොළවල් වෙත පිවිසීමේදී ලබාගත් අත්දැකීම් ඔස්සේ BYD සමාගම මෙම ප්‍රවේශය මේ වන විට තවදුරටත් ශක්තිමත් කර ඇත. ඕනෑම වෙළඳපොළක වර්ධනය තිරසාරව පවත්වා ගැනීම සඳහා තීරණාත්මක වන ප්‍රධාන සාධක දෙකක් හඳුනාගත හැකියි. ඒවා නම්, අලෙවියෙන් පසු සේවා හැකියාව සහ charge කිරීමේ යටිතල පහසුකම්ය. ශ්‍රී ලංකාව තුළ මෙම අංශ දෙකෙහිම ප්‍රගතිය වෙනුවෙන් මේ වන විටත් සැලකිය යුතු මට්ටමේ විශාල ආයෝජනයක් සිදුකර තිබේ.
“අප නව වෙළඳපොළකට පිවිසීමේදී, එහි ආරම්භයේ සිටම විකුණුම් සැලසුම්වලට සමගාමීව අලෙවියෙන් පසු සේවා අංශය ද ක්‍රමානුකූලව සැලසුම් කිරීමට අප පියවර ගන්නවා. එමෙන්ම, විවිධ වෙළඳපොළවල් හරහා ලබන අත්දැකීම් ඔස්සේ එම සැලසුම්කරණ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපට හැකියාව ලැබී තිබෙනවා. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ වෙළඳපොල වර්ධන වේගය ඉතාමත් දියුණු මට්ටමක පවතිනවා. ඒ නිසා, එම වේගවත් ප්‍රගතියට සරිලන පරිදි අලෙවියෙන් පසු සේවා සහ යටිතල පහසුකම් අඛණ්ඩව ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාම කෙරෙහි අපගේ උපරිම අවධානය යොමු කර තිබෙනවා,” යනුවෙන් Peter Feng මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
වර්තමානය වන විට BYD සහ JKCG Auto එක්ව ශ්‍රී ලංකාව තුළ වාහන සේවා වාර 20,000කට අධික සංඛ්‍යාවක් සාර්ථකව සම්පූර්ණ කර තිබේ. මෙරට විශාලතම BYD සේවා මධ්‍යස්ථානය වන වත්තල පිහිටි මහල් හතරකින් යුත් අලෙවියෙන් පසු සේවා පහසුකම සතු ව, දිනකට වාහන 150ක් දක්වා සේවා සැපයීමේ සුවිශේෂී ධාරිතාවක් පවතී. BYD හි පුළුල් 3S සේවා ජාලය මේ වන විට දිවයින පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර, කුරුණෑගල මධ්‍යස්ථානය දැනටමත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ. මීට අමතරව, පසුගිය මාස කිහිපය තුළ මහනුවර, ගාල්ල, රත්නපුර සහ අම්පාර යන ප්‍රදේශවල නව මධ්‍යස්ථාන විවෘත කර ඇති අතර, ඉදිරියේදී මීගමුව, අනුරාධපුර සහ යාපනය යන නගරවල ද මෙම ජාලය පුළුල් කිරීමට සියලු සැලසුම් සූදානම් කර ඇත. තවද, සීදූවේ පිහිටි පැරණි Formula World ගොඩනැගිල්ලේ විවෘත කර ඇති පහසුකම BYD සහ DENZA වාහන සඳහාම වෙන් වූ මෙරට විශාලතම BYD හි අමතර කොටස් සහ අනතුරුවලින් සිදුවන අලුත්වැඩියා හා නඩත්තු කටයුතු මධ්‍යස්ථානය වන අතර, එහි එකවර වාහන 100කට අධික සංඛ්‍යාවක් හැසිරවීමේ පහසුකම් පවතී.
වාහන අලෙවිය මෙන්ම පාරිභෝගිකයන් හට අවශ්‍ය අමතර කොටස් බාධාවකින් තොරව ලබාගැනීමේ පහසුව ද මෙහිදී සහතික කර තිබේ. ඒ වෙනුවෙන් මෙරට පවතින අමතර කොටස් තොග සැලකිය යුතු ලෙස ශක්තිමත් කිරීමට JKCG Auto පියවර ගෙන ඇති අතර, ඕනෑම හදිසි අවශ්‍යතාවකදී ප්‍රයෝජනයට ගත හැකි පරිදි ප්‍රමාණවත් තොග ද අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ. විශේෂ කරුණක් වන්නේ, JKCG Auto සහ BYD Global සමාගම් අතර අමතර කොටස් ඇණවුම් කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයකරණය කර තිබීමයි. මේ හේතුවෙන් මිලදී ගැනීමේ ඇණවුමක් ලබාදුන් දින සිට සති දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත, චීනයේ පිහිටි BYD ප්‍රධාන ගබඩා පද්ධතිය හරහා අවශ්‍ය අමතර කොටස්වලින් 95%ක් පමණ කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇත.
දේශීය තාක්ෂණික කණ්ඩායම්වල දක්ෂතා වර්ධනය කිරීම වෙනුවෙන් විශේෂිත විදේශීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ. ඒ යටතේ මෙරට දේශීය කණ්ඩායම් චීනය වෙත යොමු කරමින් වාහන මාදිලිවලට අදාළ විශේෂිත පුහුණුවීම් ලබා දී ඇති අතර, BYD හි තායිලන්ත මෙහෙයුම් ජාලය හරහා ද මේ සඳහා අඛණ්ඩ සහාය හිමි විය. නිරන්තරයෙන් ලබාදෙන කුසලතා වර්ධන පුහුණුවීම් හරහා, වේගයෙන් වෙනස් වන නව බලශක්ති වාහන තාක්ෂණයට ගැළපෙන පරිදි ඔවුන්ගේ දැනුම සැමවිටම යාවත්කාලීන කෙරේ. වඩාත් සුවිශේෂී කරුණ වන්නේ, දකුණු ආසියානු කලාපය සඳහාම වන ප්‍රධාන තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත කිරීමට ද BYD සැලසුම් කර තිබීමයි. මීට අමතරව, සේවා මධ්‍යස්ථාන තුළ කාර්මික දෝෂ හඳුනාගැනීම පහසු කිරීමට සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට නවීනතම ඩිජිටල් මෙවලම් ද මේ වන විට හඳුන්වා දෙමින් පවතී.
Charge කිරීමේ යටිතල පහසුකම් සහ රිය ධාවන දුර පිළිබඳ විශ්වාසය
දිගුකාලීන වාහන හිමිකාරිත්වය පිළිබඳ විශ්වාසය ගොඩනැගීමේදී, අලෙවියෙන් පසු සේවා සහාය මෙන්ම charge කිරීමේ යටිතල පහසුකම් ද එක හා සමානව වැදගත් වේ. නව වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන්නන් තුළ ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ වාහනය ධාවන කිරීමේ දුර පිළිබඳ අනියත බිය වන අතර දැනට ස්ථාපිත කර ඇති ශක්තිමත් charge කිරීමේ ජාලය හරහා මෙය සාර්ථකව මඟහරවා ඇත. ඒ අනුව, දිවයින පුරා fast chargers කිරීමේ ස්ථාන 129කට අධික සංඛ්‍යාවක් මේ වන විටත් ස්ථාපිත කර ඇති අතර, ඒවා මඟින් පැයක් වැනි කෙටි කාලයක් තුළ වාහනයක් සම්පූර්ණයෙන්ම charge කිරීමේ හැකියාව පවතී. මීට අමතරව, සෑම පාරිභෝගිකයෙකුටම රාත්‍රී කාලයේ නිවසේදී පහසුවෙන් charge කරගැනීමට 7kW චාර්ජරයක් ද ලබාදෙනු ලැබේ. විශේෂයෙන්ම PHEV වාහන හිමිකරුවන්ට තමන්ගේ දෛනික ගමන් බිමන්වලින් බහුතරයක් EV mode ඔස්සේ ධාවනය කිරීමට හැකි වීම නිසා, ඉන්ධන මත යැපීම සහ ඒ සඳහා යන පිරිවැය සැලකිය යුතු ලෙස පාලනය කරගැනීමට අවස්ථාව ලැබී ඇත.
සාම්ප්‍රදායික ඉන්ධන වාහනවලට සාපේක්ෂව, NEV වාහන නඩත්තු කිරීම සහ දෛනිකව පවත්වාගෙන යාම සඳහා වැය වන පිරිවැය සැලකිය යුතු ලෙස අවම මට්ටමක පවතී. විශේෂයෙන්ම ගෘහස්ථ සූර්ය බලශක්ති පද්ධති භාවිත කරන පාරිභෝගිකයන්ට, දෛනික ධාවන වියදම මුළුමනින්ම පාහේ ඉතිරි කර ගැනීමට මෙමගින් අවස්ථාව සැලසේ. මෙම වාසිය හේතුවෙන් වාහන හිමිකරුවන් නිතර නිතර වාහන ධාවනය කිරීමට පෙළඹෙන ප්‍රවණතාවක් දක්නට ලැබේ. මෙරට BYD පාරිභෝගිකයන්ගේ මෙම සුවිශේෂී වාහන භාවිත කිරීමේ ප්‍රවණතාව දෙස බැලීමේදී තහවුරු වන්නේ, වාහන හිමිකරුවන්ගේ උපරිම තෘප්තිය වෙනුවෙන් අලෙවියෙන් පසු සේවා සහාය කෙතරම් තීරණාත්මක සාධකයක් ද යන්නයි.
“ශ්‍රී ලංකාව තුළ BYD සන්නාමයට හිමි වූ ප්‍රතිචාරය අති විශිෂ්ටයි. මෙතරම් කෙටි කාලයක් තුළ අප අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව අප අවංකවම ආඩම්බර වෙනවා. මෙම ගමන් මග පුරාවටම අපට විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදු වූ වුනා. නමුත් සෑම පියවරකදීම අපගේ සේවා ජාලය පුළුල් කරමින්, අමතර කොටස් සැපයුම ශක්තිමත් කරමින් සහ තාක්ෂණික නිලධාරීන්ගේ කුසලතා ඉහළ නැංවීම සඳහා ආයෝජනය කරමින් අප අඛණ්ඩ දියුණුවක් අත්කර ගැනීමට සමත් වුණා. අපගේ පාරිභෝගිකයින්ගේ වාහන පරිශීලන අත්දැකීම තව තවත් උසස් මට්ටමකට ගෙන යාම සඳහා JKCG Auto කණ්ඩායම කැපවී සිටිනවා,” යනුවෙන් JKCG Auto හි අලෙවියෙන් පසු සේවා අංශයේ ප්‍රධානී චතුරංග කහවත්ත මහතා පැවසීය.
ශ්‍රී ලංකාව තුළ BYD සහ JKCG Auto සතු ප්‍රධානතම ඉලක්කය වන්නේ, දිගුකාලීන වෙළඳපොළ දියුණුව වෙනුවෙන් අවශ්‍ය පසුබිම අඛණ්ඩව ශක්තිමත් කිරීමයි. සේවා ධාරිතාව ඉහළ නැංවීම, තාක්ෂණික කුසලතා වර්ධනය කිරීම සහ පාරිභෝගික සහායක පද්ධති වඩාත් කාර්යක්ෂම කිරීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ ඔවුන්ගේ එම කැපවීම මනාව පෙන්නුම් කරයි. නව බලශක්ති වාහන වෙළඳපොළේ දියුණුවට සමගාමීව පාරිභෝගික තෘප්තිය හා විශ්වාසය ඉහළ නැංවීම සඳහා මෙම සියලු මෙහෙයුම් ඉතා සැලසුම් සහගතව ක්‍රියාත්මක වේ. මෙරට විද්‍යුත් වාහන භාවිතය සීග්‍රයෙන් වර්ධනය වන මේ මොහොතේ, BYD තෝරාගන්නා සෑම හිමිකරුවෙකුටම, තමන් පිටුපස සිටින්නේ ඕනෑම අවස්ථාවක විශ්වාසය තැබිය හැකි ශක්තිමත් සහ සහායක කණ්ඩායමක් බව සහතික කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.


Video Story