එල් නිනෝ නිසා උද්ධමනය ඉහළ යෑමේ අවදානමක් – මහ බැංකුව

    August, 14, 2026

    ගෝලීය වෙළෙඳ භාණ්ඩ වෙළෙඳපොළ තුළ පවතින ඉහළ අවිනිශ්චිතතාව සහ එල් නිනෝ සංසිද්ධිය සමඟ ඇතිවිය හැකි අහිතකර කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම හේතුවෙන්, නුදුරු සහ මැදි කාලීනව උද්ධමනය පුරෝකථනය කළ මට්ටමට වඩා ඉහළ යෑමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. කෙසේ වුවද, උද්ධමන අපේක්ෂාවන් මැදි කාලීනව උද්ධමන ඉලක්කය වටා ස්ථායීව පවතිනු ඇත බව මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.

    2026 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත්කරමින් මහ බැංකුව මේ බව සඳහන් කරයි. 2026 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තා සාරාංශයෙහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    2026 වසරේ පෙබරවාරි මස අග භාගයේ සිට මැදපෙරදිග කලාපයේ පවතින් භූ දේශපාලනික අතතීන් උත්සන්න වීම හේතුවෙන් විදේශීය අංශය දැඩි අභියෝගකාරී තත්ත්වයන්ට මෙන්ම ඉහළ විචලනයන්ට මුහුණ දුන් අතර, එහි බලපෑම් දේශීය ආර්ථිකයට එල්ල වීම මධ්‍යයේ වුව ද, 2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වයන් බොහෝදුරට ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කළේය.

    2026 වසරේ පළමු කාර්තුවේ දී 2%කට ආසන්න සාමාන්‍ය අගයක පැවති මතුපිට උද්ධමනය එතැන් සිට සීඝ්‍රයෙන් ඉහළ ගොස් උද්ධමන ඉලක්කයට වඩා ඉහළ මට්ටමකට ළඟා වූ අතර, මේ සඳහා ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ යෑමේ බලපෑම දේශීය ඉන්ධන සහ බලශක්ති මිල ගණන් වෙත ක්ෂණිකව සම්ප්‍රේෂණය වීම සහ ඒ මගින් අනෙකුත් අංශවලට එල්ල වූ වකු බලපෑම් ප්‍රධාන වශයෙන් හේතුවිය. මෑත කාලීනව උද්ධමනය ඉහළ යෑඹ සඳහා ප්‍රධාන වශයෙන් සැපයුම් අංශයේ සාධක හේතු වූ අතර, ණය සහ ණය මත පදනම් වූ ආනයන කැපී පෙනෙන ලෙස ඉහළ යෑමෙන් පෙන්නුම් කෙරෙන පරිදි දේශීය ඉල්ලුම් තත්ත්වයන් ශක්තිමත් වීම ද යටිදැරි උද්ධමන පීඩන සඳහා දායක වී ඇත. ඒ අනුව, මතුපිට උද්ධමනය නුදුරු කාලීනව ඉලක්කගත මට්ටම ඉක්මවා ඉහළ යාමෙන් අනතුරුව, සැපයුම් අංශයේ මෑත කාලීන කම්පනවල බලපෑම් පහළ යෑමත් මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමේ බලපෑම සමස්ත ආර්ථික වෙත සම්ප්‍රේෂණය වීමත් සමඟ උද්ධමනය මැදි කාලීනව ක්‍රමයෙන් අඩු වී ඉලක්කගත මට්ටමට ළඟා වනු ඇතැයි පුරෝකථනය කෙරේ. මූලික උද්ධමනය ඉහළ ගොස් මතුපිට උද්ධමන ඉලක්කය වටා ස්ථායි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර, ගෝලීය වෙළෙඳ භාණ්ඩ වෙළෙඳපොළ තුළ පවතින ඉහළ අවිනිශ්චිතතාව සහ එල් නිනෝ සංසිද්ධිය සමඟ ඇතිවිය හැකි අහිතකර කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම හේතුවෙන්, නුදුරු සහ මැදි කාලීනව උද්ධමනය පුරෝකථනය කළ මට්ටමට වඩා ඉහළ යෑමේ අවදානමක් පවතී. කෙසේ වුවද, උද්ධමන අපේක්ෂාවන් මැදි කාලීනව උද්ධමන ඉලක්කය වටා ස්ථායීව පවතී.

    ඉහළ උද්ධමන ඉදිරි දැක්ම මධ්‍යයේ, උද්ධමනය තවදුරටත් ඉහළ යෑම පාලනය කිරීම සහ උද්ධමන අපේක්ෂා ඉලක්කගත මට්ටමෙන් විතැන් වීමේ අවදානම අවම කිරීම සඳහා, මහ බැංකුව, 2023 වසරේ මැද භාගයේ සිට ක්‍රියාත්මක කළ සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අවසන් කරමින් 2026 වසරේ මැයි මාසයේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීමට කටයුතු කළේය. ඒ අනුව, ප්‍රතිපත්ති පොලී අනුපාතික දැඩි කිරීමට අනුකූලව සමස්ත වෙළෙඳපොළ පොලී අනුපාතික ව්‍යූහය ද ඉහළ ගියේය. ආර්ථික ක්‍රියාකාරකම්වල අඛණ්ඩ ඉහළ යාම සහ ඉහළ ආනයන ඉල්ලුම පිළිබිඹු කරමින් අඛණ්ඩව ශක්තිමත් වර්ධනයක් වාර්තා කළ පෞද්ගලික අංශය වෙත ලබා දෙන ණයෙහි ප්‍රසාරණය, මූල්‍ය තත්ත්වයන් දැඩි වීම සහ මහ බැංකුව හා රජය විසින් ගනු ලැබූ අනෙකුත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් ඉදිරි කාලයේ දී මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    අඛණ්ඩව වසර තුනක් අතිරික්තයක් වාර්තා කළ විදේශීය ජංගම ගිණුම, මැදපෙරදිග කලාපයේ නොසන්සුන්තාව තීව්‍ර වීම සහ මෝටර් රථ ආනයනය ඉහළ යෑම හේතුවෙන් 2026 වසරේ පළමු භාගයේ දී හිඟයක් වාර්තා කිරීමත් සමඟ විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව අභියෝගයකට ලක් විය. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් ශක්තිමත්ව පැවතිය ද, ඉන්ධන ආනයන වියදම් ඉහළ යෑම සහ සංචාරක ඉපැයීම් පහළ යෑම විදේශීය ජංගම ගිණුමේ හිඟයට ප්‍රධාන වශයෙන් දායක විය. 2026 වසරේ මුල් කාලයේ දී බොහෝ දුරට ස්ථායීව පැවති ශ්‍රී ලංකා රුපියල, මැදපෙරදිග කලාපයේ අර්බුද තීව්‍ර වීමත් සමඟ 2026 වසරේ මාර්තු සිට ජූනි දක්වා කාලය තුළ අවප්‍රමාණය වීමේ පීඩනයකට මුහුණ දුන්නේය. විදේශ සංචිත ස්වාරක්ෂක ගොඩනැංවීමේ සහ පවත්වාගෙන යෑමේ ප්‍රයත්න අඛණ්ඩ ක්‍රියාත්මක වුව ද අභියෝගාත්මක ගෝලීය තත්ත්ව සහ අඛණ්ඩ විදේශ ණය සේවාකරණය හේතුවෙන් දළ නිල සංචිත 2026 ජූනි මාසය අවසානයේ දී පහළ ගියේය. කෙසේ වුවද, බහුපාර්ශවීය ආයතනවලින් ලද විදේශ විනිමය ලැබීම් හේතුවෙන් දළ නිල සංචිත පහළ යෑම කිසියම් දුරකට පාලනය විය.

    අඛණ්ඩව ක්‍රියාත්මක කළ ආදායම් පාදක කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග හේතුවෙන් 2026 වසරේ මුල් මාස පහ තුළ රාජ්‍ය මූල්‍ය අංශයේ කාර්යසාධනය අඛණ්ඩව ශක්තිමත් විය.

    2024 සහ 2025 වසරවල දී අඛණ්ඩව 5.0%ක වර්ධනයක් වාර්තා කිරීමෙන් අනතුරව, ශ්‍රී ලංකා ආර්ථිකය 2026 වසරේ පළමු කාර්තුවේ දී මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ 5.1%ක ශක්තිමත් වර්ධනයක් වාර්තා කළ අතර ඒ සඳහා ශක්තිමත් සාර්ව ආර්ථික පදනම, ආර්ථිකයේ වැඩි දියුණු වූ ඔරොත්තු දීමේ හැකියාව සහ වසරේ මුල් භාගයේ දී දක්නට ලැබුනු හිතකර මූල්‍ය තත්ත්වයන් සහාය වී ඇත. කෙසේ වුව ද, භූ දේශපාලනික අර්බුදකාරී තත්ත්වයන් නැවත ඇති වීම සහ ගෝලීය ඉල්ලුම මන්දගාමී වීම වැනි බලපෑම් මෙන්ම, දේශීය වශයෙන් ඇතිවය හැකි අහිතකර කාලගුණික තත්ත්වයන් තුළින් ඉදිරි කාලයේ දී දේශීය ආර්ථික කාර්යසාධනය කෙරෙහි අඛණ්ඩව බලපෑම් ඇති විය හැකිය.