SLIM SME Development Awards 2026 නැවතත් ශ්‍රී ලංකාවේ ව්‍යවසායක විශිෂ්ටත්වය අගයනු ලබයි

    August, 18, 2026

    ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙහෙයවනු ලබන 'SLIM SME Development Awards (SMEDA) 2026' සම්මාන උළෙල නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි (MSMEs) අලෙවිකරණ විශිෂ්ටත්වය, සන්නාම ශක්තිය, නවෝත්පාදන හැකියාව සහ තිරසාර ව්‍යාපාරික වර්ධනය සඳහා වන දායකත්වය හඳුනාගෙන, ඒවා ජාතික මට්ටමින් ඇගයීමට ලක් කිරීම SMEDA හි ප්‍රධාන අරමුණයි.

    පසුගිය වසරවල සාර්ථකත්වය පදනම් කරගනිමින්, SMEDA 2026 ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි ව්‍යාපාරිකයින්ට වෘත්තීය අලෙවිකරණ ක්‍රමවේද අනුගමනය කිරීමටත්, වෙනස් වන වෙළෙඳපොළ පරිසරයක් තුළ තරඟ කිරීමට ඇති හැකියාව ශක්තිමත් කිරීමටත් දිරිගන්වයි. මෙම සම්මාන උළෙල මගින් සහභාගී වන ව්‍යාපාරවලට තම කාර්යසාධනය ක්ෂේත්‍රයේ පිළිගත් ප්‍රමිතීන්ට අනුව ඇගයීමට අවස්ථාව හිමිවන අතර, ඔවුන්ගේ ජයග්‍රහණ, නවෝත්පාදන සහ අනාගත වර්ධන හැකියාවන් සඳහා ජාතික මට්ටමේ පිළිගැනීමක් ලබා ගැනීමටද අවස්ථාව සලසයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් SLIM හි සභාපති ඉනෝක් පෙරේරා මහතා මෙසේ සඳහන් කළේය. "SMEDA 2026 කියන්නේ හුදෙක් සම්මාන උළෙලක් නෙවෙයි, එය ශ්‍රී ලාංකේය ව්‍යවසායකත්වයේ අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක්. සාර්ථක ව්‍යාපාරයක පදනම වෙන්නේ ශක්තිමත් වෙළඳපොළ අවබෝධය සහ පාරිභෝගිකයාට මුල්තැන දීමයි. අපේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට දේශීය සීමාවලින් ඔබ්බට ගොස් ගෝලීය මට්ටමින් තරඟ කරන්න අවශ්‍ය ශක්තිය සහ පිළිගැනීම ලබා දීම අපේ අරමුණයි. අපේ ව්‍යවසායකයන් ජයගන්නා විට, මුළු රටම ජයගන්නවා.”

    මෙම සම්මාන උළෙල හරහා ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විවිධත්වය සහ දායකත්වය නියෝජනය වන පරිදි, ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන ව්‍යවසායකයින් ඇගයීමට ලක් කෙරේ. මෙවරද ඉදිරිපත් වන ව්‍යාපාරවල අලෙවිකරණ හැකියාවන්, ව්‍යාපාරික කාර්යසාධනය සහ සාර්ථකත්වය, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් විධිමත් ඇගයීමකට ලක් කරනු ඇත.

    ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා SMEDA 2026 හි ඇති වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් SLIM හි   ව්‍යාපෘති සහ තිරසාර සංවර්ධන උප සභාපති රජීව් ඩේවිඩ් මහතා මෙසේ ප්‍රකාශ කළේය. "SMEDA 2026 යනු හුදෙක් ව්‍යාපාරික සාර්ථකත්වය පමණක් නොව, නවෝත්පාදනය, නොසැලෙන පැවැත්ම සහ වගකීම් සහගත වර්ධනයද ඇගයෙන වේදිකාවක්. සම්මාන තිළිණ කිරීමට අමතරව, තිරසාර ලෙස ව්‍යාපාරික ජයග්‍රහණ අත්කර ගැනීමටත්, ගෝලීය වෙළඳපොළ ජයගැනීමට අවශ්‍ය ප්‍රසිද්ධිය, විශ්වාසනීයත්වය සහ ශක්තිමත් පදනමත් මෙමගින් ව්‍යවසායකයන්ට උදාකර දෙනවා."

    රැකියා උත්පාදනය, නවෝත්පාදනය සහ ප්‍රජා සංවර්ධනය උදෙසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ඉටු කරන මෙහෙවර සුළුපටු නොවන බව SLIM අධ්‍යාපන සහ පර්යේෂණ උප සභාපති මන්තික රණසිංහ මහතා සඳහන් කළේය. එවැනි ව්‍යවසායකයින් ඇගයීම, වෙළඳපොළ දියුණුව සහ වෘත්තීය අලෙවිකරණ ක්‍රමවේදයන් වෙත ඔවුන් යොමු කිරීම හරහා ඔවුන්ගේ ගමනට ශක්තියක් වීමට SLIM කැපවී සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

    SLIM හි ප්‍රධාන විධායක නිලධාරී චමිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. "SMEDA 2026 යනු හුදෙක් ඇගයීම් වේදිකාවක් පමණක් නොවෙයි. ව්‍යවසායකයින්ගේ ජයග්‍රහණ සැමරීම, හොඳම ක්‍රමවේද දිරිගැන්වීම මෙන්ම උපායමාර්ගික අලෙවිකරණය, සන්නාමකරණය සහ පාරිභෝගික කේන්ද්‍රීය වර්ධනයේ වැදගත්කම ඉස්මතු කරමින් ඔවුන් සවිබල ගැන්වීමේ වැඩසටහනක්."

    SMEDA 2026 හරහා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් මෙන්ම නැගී එන ව්‍යාපාර සහ විවිධ ක්ෂේත්‍රයන්හි විශිෂ්ටත්වය පෙන්වූ ව්‍යවසායන් ද ඇගයීමට ලක් කෙරේ. මෙහිදී සහභාගී වන ආයතන විසින් මැනිය හැකි ව්‍යාපාරික ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා අලෙවිකරණය, සන්නාමකරණය, පාරිභෝගික කේන්ද්‍රතාව, නවෝත්පාදනය සහ තිරසර ක්‍රමවේදයන් ප්‍රායෝගිකව යොදාගත් ආකාරය ඇගයීමට ලක් කරනු ඇත.

    SLIM SME Development Awards 2026 හි ව්‍යාපෘති සභාපති මදුරංග වීරතුංග මහතා සඳහන් කළේ, “ශ්‍රී ලංකාවේ MSMEs සමස්ත ව්‍යාපාරවලින් 80%ක් නියෝජනය කරන අතර, දළ දේශීය නිෂ්පාදිතයට 50%කට වැඩි දායකත්වයක් ලබාදෙමින් ජාතික රැකියා නියුක්තියෙන් 45%ක් සපයනවා. දේශීය නවෝත්පාදනයන් ගෝලීය වටිනාකම් සමඟ සම්බන්ධ කරන පාලම වන්නේ උපායමාර්ගික අලෙවිකරණයයි. SMEDA 2026 හරහා, දේශීය ව්‍යවසායන් පරිමාණය කළ හැකි සහ තිරසර සන්නාම බවට ඔසවා තැබීම අපගේ අරමුණයි.” යනුවෙනි.

    ප්‍රධාන විනිශ්චයකාර ආචාර්ය රොෂාන් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. "අපගේ අරමුණ වන්නේ ව්‍යාපාරික සාර්ථකත්වය පමණක් නොව, අලෙවිකරණය, පාරිභෝගික කේන්ද්‍රතාව, නවෝත්පාදනය සහ තිරසාර ව්‍යාපාර ක්‍රමවේදයන්හි විශිෂ්ටත්වය පෙන්වූ ආයතන හඳුනාගෙන ඇගයීමයි. SMEDA යනු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තම ප්‍රමිතීන් නිරන්තරයෙන් ඉහළ නංවා ගැනීමට උපකාර වන මිනුම් දණ්ඩක්."

    SMEDA 2026 හරහා, අලෙවිකරණයේ වටිනාකම මහා පරිමාණ සමාගම්වලට පමණක් සීමා නොකර, SME සංවර්ධනය සඳහා ප්‍රායෝගික මෙවලමක් ලෙස ස්ථාපිත කිරීම SLIM හි අරමුණයි. එමගින් ශ්‍රී ලාංකේය ව්‍යාපාරවලට ශක්තිමත් සන්නාම ගොඩනැගීමටත්, තරඟකාරීත්වය ඉහළ නංවා ගැනීමටත්, රටේ ආර්ථික වර්ධනයට වඩාත් අර්ථවත් දායකත්වයක් ලබා දීමටත් මඟ පාදයි.

    SMEDA 2026 පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, +94703266988 යන දුරකථන අංකය හෝ gangani.l@slim.lk විද්‍යුත් තැපෑල ඔස්සේ SLIM Events කණ්ඩායමේ ගංගානි ලියනගේ මහත්මිය සම්බන්ධ කරගත හැකිය.

    Mr. Enoch Perera (President - SLIM)

     

    Image Caption: Dr. Ravi Bamunusinghe (Deputy Jury Head - SMEDA 2026)/ Mr. Maduranga Weeratunga (Project Chairman - SMEDA 2026)/ Mr. Enoch Perera (President - SLIM)/ Mr. Rajiv David (Vice President - Events And Sustainability)/ Dr. Roshan Fernando (Jury Head - SMEDA 2026)/ Mr. Chamil Wickramasinghe (CEO - SLIM)