September, 7, 2026
ජෙෆ්රි බාවා භාරය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ‘මූණමල්’ සම්මානය සඳහා අයදුම්පත් භාරගැනීම නිල වශයෙන් ආරම්භ කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකා වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය (Wildlife and Nature Protection Society of Sri Lanka) සමඟ එක්ව මෙම සම්මාන වැඩසටහන සංවිධානය කරනු ලබනු ලබයි. මේ සඳහා මිනිස් අවශ්‍යතා මනාව සපුරාලමින් අවට පරිසර පද්ධතියේ සහ ස්වභාවධර්මයේ උන්නතිය වෙනුවෙන් ඉඩ සලසනු ලබන මෙරට තුළ සම්පූර්ණ කර ඇති සුවිශේෂී ව්‍යාපෘති ඉදිරිපත් කරන ලෙස දේශීය පුද්ගලයන්ට සහ ආයතනවලට ආරාධනා කර සිටියි.
මෙම සම්මානය සඳහා අයදුම්පත් ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ සිදු වේ. එහි ‘ගොඩනැඟිලි සහ භෞතික පරිසර‘ කාණ්ඩ යටතට ගෘහ නිර්මාණ ශිල්පය, යටිතල පහසුකම්, නාගරික සැලසුම්කරණය සහ උද්‍යාන සැලසුම්කරණය ඇතුළත් වන අතර, ‘රාජ්‍ය ප්‍රතිපත්ති‘ කාණ්ඩය සඳහා පරිසර හිතකාමී නිර්මාණ දිරිමත් කරන සහ ඒ සඳහා ඉඩ සලසා දෙන සුවිශේෂී ප්‍රතිපත්තිමය සැලසුම් සලකා බලනු ලබයි. එක් වෘත්තියකට හෝ එක් ක්ෂේත්රයකට පමණක් සීමා නොවන මෙම සම්මානය සඳහා ශ්‍රී ලංකාව තුළ ප්‍රායෝගිකව ක්‍රියාවට නංවා ඇති ව්‍යාපෘති, පුද්ගලයන්, පෞද්ගලික ආයතන, රාජ්‍ය ආයතන, ප්‍රජා කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන, පර්යේෂකයන් සහ විවිධ ක්ෂේත්රවල ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම්වලට වුවද අයදුම් කළ හැකිය.
සම්මානය සඳහා සුදුසුකම් ලබන ව්‍යාපෘති පසුගිය වසර දහය ඇතුළත ක්‍රියාවට නංවන ලද ඒවා විය යුතු අතර, කාලයත් සමඟ ඒවායේ ප්‍රායෝගික ප්‍රතිඵල පැහැදිලිව ඔප්පු කර පෙන්වීම සඳහා අවම වශයෙන් වසරක කාලයක්වත් සම්පූර්ණයෙන් නිම කර තිබීම අනිවාර්ය වේ. ඒ අනුව මිනිස් අවශ්‍යතාවලට අමතරව ගස්වැල්, සතුන් සහ සමස්ත පරිසර පද්ධතියේම අවශ්‍යතා පිළිබඳවද අවධානය යොමු කර ඇති ආකාරය, සිදුවී ඇති පාරිසරික හානිය වළක්වා ගැනීමට හෝ එය අවම කිරීමට සමත්වී තිබීම, ස්වභාවික පරිසරය නැවත යථා තත්ත්වයට පත් කිරීමට සහ එහි වර්ධනයට සහාය වීම වැනි කරුණු සලකා බලමින් විශිෂ්ට නිර්මාණයන් තෝරා ගැනීමට කටයුතු කරනු ඇත.
මෙම සම්මානය සඳහා ඉදිරිපත් කළ හැකි ව්‍යාපෘති අතරට සැලසුම් සහගත මැදිහත්වීම මඟින් විනාශ වූ හෝ දූෂණය වූ ජල මාර්ග සහ පරිසර පද්ධතිය නැවත යථා තත්වයට පත් කිරීමේ ව්‍යාපෘති, ජෛව විවිධත්වය සුරක්ෂිත වන පරිදි නිර්මාණය කළ ගොඩනැඟිලි සහ යටිතල පහසුකම් මෙන්ම වාසස්ථාන අහිමි වීම හෝ පාංශු ඛාදනයට එරෙහි දේශීය ප්‍රජාව මූලික වී දියත් කළ පාරිසරික වැඩසටහන්ද ඇතුලත් වේ. එමෙන්ම ඉදිකිරීම් ක්ෂේත්රය අනෙකුත් සත්ව විශේෂ සහ ස්වභාවික පද්ධතීන් සමඟ වඩාත් සුසංයෝගයෙන් පවත්වාගෙන යාම සඳහා මඟ පෙන්වන රාජ්‍ය හෝ ආයතනික ප්‍රතිපත්ති.සඳහාද මෙම සම්මානය විවෘත වේ.
මෙම සම්මානය පිළිබඳව අදහස් දැක්වූ පරිසරවේදී සහ ‘Environmentalist and Preserving Land and Nature (PLANT) ආයතනයේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජයරත්න මහතා සඳහන් කර සිටියේ “මූණමල් සම්මානය මඟින් බලාපොරොත්තු වන්නේ හුදෙක් පාරිසරික සහජීවනය පිළිබඳව අදහස් දැක්වීම පමණක් නොව, එය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවා ඇති ව්‍යාපෘති හඳුනා ගැනීමයි. මෙහිදී අපට දැක ගැනීමට අවශ්‍ය වන්නේ භූමියේ ස්වභාවය අවබෝධ කර ගනිමින් ඊට ගැලපෙන පරිදි විවිධ ප්‍රජාවන් සහ විවිධ ක්ෂේත්රවල ප්‍රවීණයන් එකට එකතු කර නිර්මාණය කළ සුවිශේෂී නිර්මාණයන්ය. මෙහිදී යම් ව්‍යාපෘතියක ඇති විශාලත්වයට වඩා වැදගත් වන්නේ, අරමුණෙහි පැහැදිලිභාවය, ඉන් සිදුවී ඇති සාධනීය පාරිසරික වෙනස පිළිබඳ ප්‍රායෝගික සාක්ෂි සහ අනාගතයේදී ශ්‍රී ලංකාව තුළ ඉදිකිරීම් සැලසුම් කළ යුතු ආකාරය පිළිබඳව මඟ පෙන්වීමට එම ව්‍යාපෘතිය සතු හැකියාවයි” යනුවෙනි.
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) බාවා මූණමල් සම්මානය සමඟ නිල වශයෙන් අත්වැල් බැඳගෙන ඇත්තේ ඉංජිනේරු ක්ෂේත්රය සහ පාරිසරික කළමනාකරණය එකට එක් කරමින් දිවයින පුරා තිරසාර යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්ය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති කෝසල කඹුරාදෙනිය මහතා “ජෙෆ්රි බාවා මූණමල් සම්මානය සමඟ හවුල්කාරිත්වයකට එළඹීමට ලැබීම පිළිබඳව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය ඉතා සතුටට පත් වනවා. පරිසර පද්ධතීන් ආරක්ෂා කරමින් සහ ඒවා නැවත යථා තත්ත්වයට පත් කිරීමට සහාය වෙමින් ශක්තිමත් යටිතල පහසුකම් නිර්මාණය කිරීම සඳහා ඉංජිනේරු ක්ෂේත්රයට විශාල වගකීමක් තිබෙනවා. මෙම හවුල්කාරිත්වය හරහා ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, පාරිසරික වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ දේශීය ප්‍රජාවන් අතර වඩාත් ශක්තිමත් සහයෝගීතාවයක් ගොඩනැඟීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම සම්මාන උළෙල මඟින් නව්‍ය, තිරසාර සහ දේශීය වටපිටාවට ගැළපෙන විසඳුම් රැසක් බිහිවනු ඇතැයි අප අපේක්ෂා කරන අතරම, ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ පාරිසරික රැකවරණය යනු එකට යා යුතු කරුණු දෙකක් බවට ඉංජිනේරු ක්ෂේත්රය තුළ පුළුල් දැනුවත්භාවයක් ඇති කිරීමටද මෙය මනා පිටුවහලක් වනු ඇතැයි මම විශ්වාස කරනවා,” යැයි කඹුරාදෙනිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රථම මූණමල් සම්මානය සඳහා වන අයදුම්පත් 2026 අගෝස්තු 31 සිට 2027 ජනවාරි 15 දක්වා අන්තර්ජාලය ඔස්සේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා 3න්ම ඉදිරිපත් කළ හැකිය. ජයග්‍රාහී ව්‍යාපෘතිය වෙනුවෙන් සුවිශේෂී ශිෂ්‍යත්වයක් පිරිනමන අතර, වැඩිදුර ඉගෙනුම් කටයුතු, අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ පොදු ජන අවකාශය පුළුල් කිරීම සඳහා ජාතික මෙන්ම කලාපීය මට්ටමින් ඉහළ ප්‍රචාරණයක් ද ලබා දෙනු ඇත. සම්මානය සඳහා තෝරාගැනෙන අවසන් ලැයිස්තුව සහ ජයග්‍රාහකයා 2027 වසරේ මැද භාගයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
අයදුම් කිරීමේ උපදෙස් සහ අයදුම්පත් යොමු කිරීම සඳහා https://geoffreybawa.com/moonamal-award වෙත පිවිසිසෙන්න. වැඩිදුර විමසීම් awards@geoffreybawa.org යන විද්‍යුත් තැපෑල හරහා සිදුකළ හැකිය.

Video Story