ශ්‍රී ලංකාවේ උගත් තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්තිය ඉහළට. IMF වාර්තාවක් පෙන්වා දෙයි

    September, 21, 2026

    ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් පෙන්වා දේ. ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වී ඇති අතර එහි දෙවන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ උගත් තරුණ ප්‍රජාව අතර 41%ක රැකියා වියුක්තියක් පෙන්නුම් කරමිනි. බංග්ලාදේශයේ මෙම අගය 36%ක් බව අදාළ වාර්තාවේ සඳහන් වේ.

    දැඩි ආර්ථික සීමාවන් සහ නව තාක්ෂණික වෙනස්කම් හමුවේ ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අභියෝගාත්මක රැකියා වෙළඳපොළකට මුහුණ දෙමින් සිටින බව අදාළ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දේ.

    සමස්ත ආසියාව පුරාම තරුණ රැකියා විරහිතභාවය ඉහළ මට්ටමක පවතින අතර, වඩාත්ම උසස් අධ්‍යාපනය ලැබූ තරුණයින්ට එහි බලපෑම දැඩි ලෙස එල්ල වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා පෙන්වා දෙන්නේ, උසස් අධ්‍යාපනය ලත් තරුණ ශ්‍රමිකයන්ට තම සුදුසුකම්වලට ගැලපෙන රැකියා සොයා ගැනීමට දැඩි අරගලයක නිරත වීමට සිදුව ඇති බවයි. මෙයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ විශ්වවිද්‍යාලවලින් ලබාදෙන සුදුසුකම් සහ සේවායෝජකයින්ගේ අවශ්‍යතා අතර පවතින ප්‍රබල කුසලතා අසමතුලිතතාවයයි.

    එමෙන්ම, කෘතිම බුද්ධිය (AI) වැනි තාක්ෂණයන් වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ, නවක උපාධිධාරීන් සාම්ප්‍රදායිකව සිදුකළ ආරම්භක මට්ටමේ (entry-level) තාක්ෂණික කාර්යයන් යන්ත්‍ර මගින් ආදේශ වීමේ අවදානමක් මතුව ඇත. එමගින් නවක රැකියා අවස්ථා තවත් සීමා විය හැකි බවට කලාපය පුරා උපාධිධාරීන් අතර බියක් උද්ගතව ඇත.

    ගෝලීය වශයෙන් විශාලතම තරුණ පරම්පරාව රැකියා වෙළඳපොළට පිවිසෙන මෙම වකවානුවේදී, උසස් සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට දැඩි අවිනිශ්චිතතාවයක් සහ සීමිත රැකියා අවස්ථා සහිත ආර්ථික පරිසරයකට මුහුණ දීමට සිදුව තිබීම දැඩි අවධානයට යොමු කළ යුතු කරුණක් වේ.