Gallery HR ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමට පියවර ගනිමින් සහ නව කාර්යාලය විවෘත කරමින් Soft Gallery සමාගම සිය 6 වසරක ගමන් මග සනිටුහන් කරයි

    September, 21, 2026

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ  තාක්‍ෂණික සමාගමක් වන Soft Gallery පෞද්ගලික සමාගමේ හයවන  සංවත්සර සැමරුමට  සමගාමීව පසුගිය දා සිය නවීනතම කාර්යාල පරිශ්‍රය නිල වශයෙන් විවෘත කරන ලදී. මෙය ආයතනය භෞතික වශයෙන් වැඩිදියුණු  කිරීම වෙනුවෙන් තැබූ තවත් එක් පියවරක් පමණක් නොව, කෘත්‍රිම බුද්ධිය (AI), බුද්ධිමත් ස්වයංක්‍රීයකරණය (Intelligent Automation), උසස් මානව සම්පත් විශ්ලේෂණ (HR Analytics) සහ ගෝලීය වෙළෙඳපල ව්‍යාප්තිය හරහා සමාගම සිය ව්‍යාපාරික වර්ධනයේ මීළඟ අදියර වෙත ප්‍රවේශ වීම මෙමඟින් නිරූපණය කරයි.

    පාරිභෝගිකයන් වෙත වඩාත් විශ්වසනීය, පරිමාණය කළ හැකි  සහ සැබවින්ම  ප්‍රයෝජනවත් වන ආයතනික තාක්‍ෂණයන් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් ආරම්භ කරන ලද Soft Gallery  සමාගම, වර්තමානය වන විට සාර්ථක තාක්‍ෂණික ආයතනයක් බවට පත්ව ඇත. සමාගම විසින් හඳුන්වා දෙන ලද ප්‍රමුඛතම මානව සම්පත් තාක්ෂණික පද්ධතිය වන 'Gallery HR', මේ වන විට රටවල් 07ක් පුරා ව්‍යාප්ත වෙමින් ආයතන 350කට ආසන්න සංඛ්‍යාවකගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වී තිබේ.මෙය මහ පරිමාණ, මධ්‍යම පරිමාණ සහ වේගයෙන් වර්ධනය වන ව්‍යාපාරයන්හි මානව සම්පත් මෙහෙයුම් සරල මෙන්ම සාර්ථක කර ගැනීමට බෙහෙවින් ඉවහල් වී ඇත.

    මුල් වසරවල දී Soft Gallery සමාගම විසින් ක්ෂණික වාණිජමය ලාභය පසෙකලා  ශක්තිමත් තාක්ෂණික පදනමක්, පරිශීලක කේන්ද්‍රීය ක්‍රියාකාරීත්වයක් සහ පහසුවෙන් ව්‍යාප්ත කළ හැකි යටිතල පහසුකම් ගොඩනැගීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළේය.  සංකීර්ණ මානව සම්පත් කළමනාකරණ ගැටලු විසඳිය හැකි විශිෂ්ටතම පද්ධතියක් ලෙස Gallery HR ස්ථාපිත කිරීම සඳහා එම නිෂ්පාදන කේන්ද්‍රීය උපායමාර්ගයන් හේතු විය.

    සමාගමේ අනාගත ගමන මෙන්ම සමාගම විසින් සිය පාරිභෝගිකයන්, තාක්ෂණය සහ සේවක මණ්ඩලය කෙරෙහි දක්වන දිගුකාලීන කැපවීම ද මෙම නව කාර්යාලය ඔස්සේ මැනවින් පිළිබිඹු කරයි. එමෙන්ම, Gallery HR පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඔබ්බට ගෙන යමින් අප්‍රිකානු කලාපය, නැගෙනහිර ආසියාව සහ මැදපෙරදිග  ඇතුළු වේගයෙන් වර්ධනය වන ජාත්යන්තර තාක්ෂණික වෙළෙඳපල වෙත ව්යාප්ත කිරීමේ ගෝලීය සැලසුම සඳහා ද මෙයින් මග විවර වේ.

    Soft Gallery සමාගම විසින් මීළඟ වර්ධන අදියර සවිබල ගැන්වීම සඳහා Gallery HR හි මූලික මෙහෙයුම් හැකියාවන් තවදුරටත් ඉහළ නැංවීමට සැලසුම් කරයි. ඒ සඳහා පරිපාලනමය පිරිවැය අඩු කිරීමට, මානව සම්පත් තීරණ ගැනීම් වඩාත් නිවැරදි කිරීමට සහ සේවකයින්ට බාධාවකින් තොර ඩිජිටල් අත්දැකීමක් ලබා දීමට හැකි ප්‍රායෝගික AI සහ ස්වයංක්‍රීය ක්‍රියාවලීන් ඒකාබද්ධ කිරීමට සමාගම කටයුතු කරමින් සිටී.

    Soft Gallery සමාගමේ නිර්මාතෘ මෙන්ම අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත පෙරේරා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. "වසර 06කට පෙර අපි මෙම ගමන ආරම්භ කරනු ලැබුවේ, ශ්‍රී ලංකාවෙන් ලෝකයටම වටිනා තාක්ෂණයක් දායක කළ හැකියි යන සරල අදහස සහ විශ්වාසය සමගයි. ආයතන 350කට ආසන්න සංඛ්‍යාවකගේ විශ්වාසය දිනා ගැනීමට අද වන විට Gallery HR පද්ධතිය සමත් වී තිබුණ ද, අපි මෙය දකින්නේ අපගේ ගමනේ ආරම්භය ලෙසයි. අපගේ නවතම කාර්යාලය ඔස්සේ අපගේ අනාගතය පිළිබඳ ඇති විශ්වාසය මෙන්ම අපගේ කාර්ය මණ්ඩලය, තාක්ෂණය සහ නිෂ්පාදන වෙනුවෙන් තවදුරටත්  ආයෝජනය කිරීම සඳහා අප සතු කැපවීම මැනවින් ප්‍රදර්ශනය කරනවා. Gallery HR පද්ධතිය තවදුරටත් වඩාත් සරල, බුද්ධිමත් සහ AI තාක්ෂණයෙන් සවිබල ගැන්වූ පද්ධතියක් ලෙස පාරිභෝගිකයන් වෙත පිරිනමමින්, ජාත්‍යන්තර වශයෙන් තරඟ කළ හැකි මට්ටමකට රැගෙන ගෙන ඒම අපගේ අරමුණයි. මෙම ගමන විශ්වාස කරමින් අපට සහයෝගය ලබා දුන් අපගේ කණ්ඩායමට, පාරිභෝගිකයන්ට, පාර්ශවකරුවන්ට මෙන්ම  සම නිර්මාතෘවරුන්ට මම හදපිරි ප්‍රණාමය  පිරිනමනවා."

    එම අදහස් තවදුරටත් තහවුරු කරමින්, Soft Gallery සමාගමේ  සම-නිර්මාතවරයෙකු මෙන්ම අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වන සුසිත් ද සිල්වා මහතා  සඳහන් කළේ, සමාගමේ ආරම්භක නායකත්වය සහ ආයෝජකයන් දැක්වූ උපායමාර්ගික දායකත්වය අතිශය තීරණාත්මක වූ බවයි. ඔවුන් ලබා දුන් මගපෙන්වීම, ආරම්භක ප්‍රාග්ධනය සහ දේශීය ඉංජිනේරු හැකියාවන් කෙරෙහි තැබූ නොසැලෙන විශ්වාසය නිසා ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික පද්ධතියක් ගොඩනැගීමට සමාගමට හැකි වූ බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    ලොව පුරා සේවා ස්ථානයන්හි මානව සම්පත් කළමනාකරණ කටයුතු යාවත්කාලීන කිරීම සඳහා දත්ත පදනම් කරගත් තීරණ ගැනීම්, ස්වයංක්‍රීයකරණය සහ කෘත්‍රිම බුද්ධිය බහුලව යොදා ගනු ලබන පසුබිමක, Soft Gallery  සමාගමට Gallery HR පද්ධතිය සාම්ප්‍රදායික HR මෘදුකාංගයකින් ඔබ්බට රැගෙන යාමට  හැකියාව ලැබී ඇත. එමගින් එය නවීන ආයතන සඳහා මූලික මානව සම්පත් මෙහෙයුම්, ස්වයංක්‍රීයකරණය, උසස් විශ්ලේෂණ සහ AI හැකියාවන් එකතැනකට ගෙන එන පරිපූර්ණ තාක්ෂණික වේදිකාවක් බවට පරිවර්තනය කරයි.

    ප්‍රායෝගික AI යෙදවුම් හරහා ආයතනික පරිපාලන කටයුතුවල අනවශ්‍ය කාර්යයන් ඉවත් කිරීම Soft Gallery තාක්ෂණික සැලසුමෙහි ප්‍රධාන ඉලක්කයකි. එමගින් ව්‍යාපාරික ප්‍රධානීන්ට මෙන්ම  මානව සම්පත් කළමනාකරුවන්ට ආයතනික සංස්කෘතිය, සේවක හැකියාවන් වර්ධනය සහ උපායමාර්ගික වර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාව සලසයි. ශක්තිමත් මෙහෙයුම් පදනම, වර්ධනය වන පාරිභෝගික විශ්වාසය සහ පැහැදිලි කලාපීය ව්‍යාප්ති ඉලක්කයන් සහිතව, Soft Gallery  සමාගම සිය 07 වන වසරට පා තබන්නේ ශ්‍රී ලාංකේය තාක්ෂණික ඉංජිනේරු දක්ෂතාව ජාත්‍යන්තරය වෙත ගෙන යාමේ අපේක්ෂාවෙනි.

    Video Story

    Stock Market

    Exchange Rates