Pay&Go, ණය ආපසු ගෙවීම වඩාත් පහසු කරමින් Sejaya Micro Credit හා අත්වැල් බැඳගනියි

    September, 23, 2026

    මෙම සහයෝගිතාවයෙන්, Sejaya හි ක්ෂුද්‍ර ව්‍යවසායක ණය ගැනුම්කරුවන්ට Pay&Go හි kiosks යන්ත්‍ර, මොබයිල් App සහ POS ජාලය හරහා ණය වාරික ගෙවීමේ පහසුව සැලසේ

    Pay&Go සන්නාමය මෙහෙයවන MegaPay (Pvt) Ltd, ශ්‍රී ලංකාව පුරා ශාඛා 55 කට අධික ප්‍රමාණයක්  හරහා සේවාවන් සපයන, ජපානයේ Gojo & Company සමාගමේ පුර්ණ අනුබද්ධ, මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන Sejaya Micro Credit සමාගම සමඟ අත්වැල් බැඳගෙන තිබේ. මෙරට මුල්‍ය ක්ෂේත්‍රයේ නවතම පෙරළියක් සනිටුහන් කරන මෙම  සහයෝගිතාවයෙන්, Sejaya ණය ගැනුම්කරුවන්ගේ වාරික ගෙවීම් දැන් අතිශය වේගවත් හා සරල අත්දැකීමක් වී ඇති අතර, එමඟින් දෙපාර්ශ්වයේම මූල්‍ය සමානාත්මතාවයේ අරමුණුද තවදුරටත් ශක්තිමත් කෙරේ.

    දැන් Sejaya පාරිභෝගිකයින්ට එම මූල්‍ය ආයතනය කරා නොගොස්, Pay&Go මොබයිල් app හරහා, දිවයින පුරා විහිදුණු ස්වයං-සේවා Kiosks යන්ත්‍ර 1,000කට අධික ජාලය හෝ රට පුරා වෙළෙඳ සල්වල ඇති Pay&Go POS යන්ත්‍ර හරහා ඕනෑම වේලාවක ණය වාරික ගෙවීමේ පහසුව ලැබී ඇත. සතියේ දින හතේ, පැය 24 පුරාම ක්‍රියාත්මක වන මෙම සේවාව මඟින් ගෙවීම් කළ සැණෙන්, ඩිජිටල් රිසිට්පතක් සහ තහවුරු කිරීමේ පණිවිඩයක් ලබාගත හැකිවීමද විශේෂත්වයකි.

    MegaPay ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂ වර්දාන් අස්ලිබෙක්‍යන් මහතා මේ පිළිබඳව තම අදහස් පළ කළේය. “මෙය,සියලු දෙනාට පහසුවෙන් පිවිසිය හැකි ගෙවීම් ක්‍රමවේදයක් රටට හඳුන්වා දීමේ අපගේ මෙහෙවරේ තවත් වැදගත් පියවරක්. SEJAYA සමඟ එක්ව, මෙවැනි පහසුකමක් වඩාත්ම අවශ්‍ය ජනතාවට එය ලබාදීමට හැකි වීම අපට සුවිශාල සතුටක්.”

    Sejaya හි ණය ගැනුම්කරුවන් වැඩි පිරිස කුඩා ව්‍යාපාර හා ස්වයං රැකියාවල නියුතු පිරිස් වන අතර, එම ව්‍යාපාර නඟාසිටුවීම සඳහා 'Repay & Grow' හරහා Pay&Go POS මඟින් පිරිනැමෙන ගෙවීම් විසඳුම් ඉදිරියේදී තවත් පුළුල් කිරීමේ හැකියාවද සමාගම් දෙකම සලකා බලමින් තිබේ. එමඟින්, ව්‍යාපාරිකයින්ට තම වෙළෙඳ සල්වලදීම, ගනුදෙනුකරුවන්ගෙන් කාඩ්පත් හරහා මුදල් ලබාගැනීමටත්, බිල්පත් ගෙවීම් භාර ගැනීමට අවස්ථාව සැලසීම අපේක්ෂාවයි. මේ පිළිබඳ වැඩි  විස්තර පාරිභෝගිකයින්ට ඉදිරියේදී දැනුම්දීමට නියමිත ය.

    “අපගේ ගනුදෙනුකරුවන්, ඔවුන්ගේ ජීවන රටාවට ගැළපෙන මූල්‍ය සේවාවන්ට හිමිකම් කිව යුතු පිරිසක් මිස, මූල්‍ය ආයතනවල කොන්දේසිවලට කොටු විය යුතු පිරිසක් නෙවෙයි. Pay&Go හරහා අපි එය යථාර්ථයක් කර තිබෙනවා.” යනුවෙන්, Sejaya Micro Credit සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිසාන්ත් ෆ්‍රැන්සිස් මහතා සිය අදහස් පළ කළේය.

    ආයතන දෙකේ සාකච්ඡා අනුව, ඉදිරියේදී ඩිජිටල් ගෙවීම් රට පුරා ප්‍රචලිත කෙරෙනු ඇත. ඒ සමඟින් ඩිජිටල් ගෙවීම් භාවිතය වැඩි කරමින්, ශ්‍රී ලාංකීය ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව නංවාලීමටද කටයුතු කෙරෙන අතර, ඩිජිටල් ගෙවීම් හරහා ජනතාව ආර්ථික වශයෙන් සවිබලගැන්වීමටද ආයතන දෙක සැලසුම් කර තිබේ.

    "කිසිවකු අමතක නොකරමු" යන දැක්ම පෙරදැරිව, 2015 වසරේදී ක්ෂේත්‍රයට පිවිසි, Sejaya Micro Credit, අඩු ආදායම්ලාභී පවුල් හා ක්ෂුද්‍ර ව්‍යවසායකයින් වෙත මුල්‍ය සේවාවන් පිරිනැමීමේ මෙහෙවරට උරදෙන ආයතනයකි. Pay&Go හි kiosk යන්ත්‍ර ජාලය, මොබයිල් app සහ POS යන්ත්‍ර ඇතුළත් ඩිජිටල් යටිතල පහසුකම් ජාලය ඔස්සේ, ඩිජිටල් ගෙවීම් වඩාත් අවශ්‍ය පිරිසට සමීප කරමින් මුල්‍ය සමානාත්මතාවය සැමට උදාකිරීමටද ආයතනය කටයුතු කරයි.

    මොබයිල් app, POS යන්ත්‍ර ජාලයක්,  ස්වයං-සේවා Kiosks යන්ත්‍ර මෙන්ම, ඔන්ලයින් සේවාවන් යනාදී සියල්ල සමඟින් ජනතාවට පරිපූර්ණ මූල්‍ය විසඳුම් පිරිනමන Pay&Go, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඩිජිටල් ගෙවීම් සහ මුදල් ගෙවීම් ඒකාබද්ධ කරන ඩිජිටල් platform එකකි.

    “කිසිවකු අමතක නොකරමු" යන අදිටනෙන්  අඩු ආදායම්ලාභී පවුල් සහ ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ගේ ජීවිත නඟාසිටුවීමට අඛණ්ඩව කැපවන, Sejaya Micro Credit, මෙරට ප්‍රමුඛතම, ඩිජිටල් ගෙවීම් සහ මුදල් ගෙවීම් විසඳුම් ඒකාබද්ධ කළ Pay&Go platform එක සමගින් මෙලෙස අත්වැල් බැඳගැනීමෙන්, එහි ඩිජිටල් යටිතල පහසුකම් ජාලය හරහා සැමට මුල්‍ය සමානාත්මතාව උදාකිරීමේ ආයතනික මෙහෙවර තව තවත් පුළුල් වේ. ඒ අනුව, මෙම සහයෝගිතාවය, ශ්‍රී ලාංකීය ජන ජීවිත සරුසාර කරමින්, ණය ගැනුම්කරුවන්ගේ දිලිඳුභාවය අවම කිරීමේ උදාර අරමුනු සාක්ෂාත් කිරීම උදෙසා වන සුවිශේෂී පියවරකි.