World CIO 200 Summit 2026 සමාරම්භක උළෙල සාර්ථකව පැවැත්වෙයි

    September, 23, 2026

    රාජ්ය, ව්යවසායක සහ සාමාජීය ක්ෂේත්රයන්හි ඩිජිටල් පරිවර්තනය උදෙසා නායකත්වය ලබා දෙන ගෝලීය ප්රධාන තොරතුරු නිලධාරීන්ගේ (Chief Information Officers - CIOs) සහ තාක්ෂණික නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු "World CIO 200 Summit 2026" ගෝලීය සමුළුවේ සමාරම්භක දිනය අද සැප්තැම්බර් (23) දින කොළඹ Cinnamon Life හිදී පැවැත්විණි. මෙම සමුළුව සැප්තැම්බර් 23 සිට 25 දක්වා පැවතීමට නියමිතයි.
    ශ්රී ලංකාව ගෝලීය තාක්ෂණික මධ්යස්ථානයක් ලෙස ප්රවර්ධනය කිරීම සහ රාජ්ය තාක්ෂණික ප්රතිපත්ති ජාත්යන්තර මට්ටමට සම්බන්ධ කිරීම අරමුණු කරගනිමින් පැවැති මෙම සමුළුවේ සමාරම්භක අවස්ථාව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්රධානත්වයෙන් පැවතිණි. ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න මහතා ඇතුළු පිරිසක්ද ඒ සඳහා එක් විය.
    මෙම සමාරම්භක උළෙල අමතමින් රාමාත්ය හරිනි අමරසූරිය මෙනෙවිය රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම පිළිබඳව අවධාරණය කළාය. ඩිජිටල් පරිවර්තනය මඟින් සමස්ත ජනතාවටම පැහැදිලි හා සාධාරණ මහජන සේවයක් ඉටු විය යුතු බවත් නූතන තාක්ෂණය භාවිත කළ යුත්තේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම, නව ආර්ථික හා වෘත්තීය අවස්ථා පුළුල් කිරීම, රාජ්ය සේවාවන් ශක්තිමත් කිරීම මෙන්ම සෑම තරාතිරමකම පිරිසගේ ආර්ථික සහභාගීත්වය තහවුරු කිරීම උදෙසා බවත් ප්රකාශ කළාය.
    විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිශාන්ත අබේසේන මහතා, කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා, ඩිජිටල් ආර්ථික අමාත්යාංශයේ ලේකම් වරුණ ශ්රී ධනපාල මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක මෙන්ම GovTech ශ්රී ලංකා ආයතනයේ සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ඇතුළු නායකයින්ද, දෙස් විදෙස් රාජ්ය තාන්ත්රිකයින්, තාක්ෂණික ව්යවසායකයින් සහ ගෝලීය CIO නිලධාරීන් රැසක් මෙම සමුළුවේ පළමු දිනට එක්වූහ.