ලංකා වෝල්ටයිල්ස් රු. බිලියන 5.01ක හිමිකම් නිකුතුවකින් පසු වැලිබල් ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට් සමඟ ඒකාබද්ධ වීමට තීරණය කරයි

    October, 2, 2026

      කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී (Lanka Walltiles PLC) විසින් යෝජිත හිමිකම් කොටස් නිකුතුවෙන් (Rights Issue) අනතුරුව, එහි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන වැලිබල් ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට් ලිමිටඩ් (Vallibel Plantation Management Limited) සමාගම,  ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමඟ ඒකාබද්ධ කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.

      ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී හි ලේකම් සමාගම විසින් කොළඹ කොටස් වෙළඳපොළ වෙත කරන ලද නිල දැනුම්දීම්වලට අනුව, මෙම ඒකාබද්ධ වීමෙන් පසුව ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී නමින් ඉදිරියට යනු ඇත. කෙසේ වෙතත්, මෙම ඒකාබද්ධතාවය ක්‍රියාත්මක වන්නේ අදාළ ඒකාබද්ධ වීම සිදු වූ වහාම ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගම අනිවාර්ය මූල්‍ය ශක්‍යතා පරීක්ෂණය (Solvency Test) සමත් වීමට යටත්වය.

      මෙම අනුබද්ධ සමාගම ඒකාබද්ධ කිරීමට පෙර, ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගම විසින් රුපියල් 39/- බැගින් වූ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 128,470,588 ක හිමිකම් නිකුතුවක් සිදුකිරීමට නිකුත් කිරීමට සැලසුම් කර ඇත. එමඟින් සම්පාදනය කර ගැනීමට අපේක්ෂිත මුළු මුදල රුපියල් 5,010,352,932/- කි.

      හිමිකම් නිකුතුවේ ප්‍රධාන කරුණු පහත පරිදි වේ:

      • කොටස් හිමිකම් අනුපාතය: දැනට තිබෙන සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 17 ක් සඳහා අලුතින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 8 ක් හිමි වනු ඇත.
      • පවතින කොටස් සංඛ්‍යාව: සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 273,000,000 කි.
      • වත්මන් ප්‍රකාශිත ප්‍රාග්ධනය: රුපියල් 787,765,000.00 කි.
      • අවශ්‍ය අනුමැතීන්: කොළඹ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත කිරීම සඳහා වන ප්‍රතිපත්තිමය අනුමැතිය සහ ඉදිරියේදී කැඳවීමට නියමිත විශේෂ මහා සභා රැස්වීමේදී (EGM) කොටස් හිමියන්ගේ අනුමැතිය ලබා ගැනීමට යටත්ව සිදු කෙරේ.

      මෙම හිමිකම් නිකුතුව මඟින් උපයා ගන්නා අරමුදල්, සමාගමේ පවතින බැංකු ණය සහ පොලී සහිත අනෙකුත් ගෙවිය යුතු හිඟ මුදල් අර්ධ වශයෙන් පියවීම සඳහා යොදවනු ඇත. එමඟින් ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගමේ සමස්ත මූල්‍ය තත්ත්වය සහ ප්‍රාග්ධන ව්‍යුහය සැලකිය යුතු ලෙස ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.