Sysco LABS හි GLO වැඩසටහනේ දෙවැනි අදියරේ සහතිපත් ප්‍රදානෝත්සවයට සමගාමීව දීපව්‍යාප්ත ප්‍රජා ව්‍යාපෘති 4 ක් දියත් කෙරේ

    October, 2, 2026

    Sysco LABS හි GLO (Guiding Leadership & Outreach) වැඩසටහනේ දෙවැනි අදියර සාර්ථකව අවසන් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා කොළඹ Courtyard by Marriott හිදී පැවැත්විණි. මෙම වැඩසටහන Association of Human Resource Professionals (AHRP) සහ Global Learning Lab (GLL) සමඟ එක්ව ක්‍රියාත්මක කරන ලදි.

    එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) පාදක කරගනිමින් සැලසුම් කර ඇති GLO වැඩසටහන, නායකත්ව සංවර්ධනය, සන්නිවේදනය, පද්ධතිමය චින්තනය, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ තිරසාර ව්‍යාපෘති යනාදී අංශ රැසක් කෙරෙහි අවධානය යොමුකරන සුවිශේෂී වැඩසටහනකි. එහිදී  න්‍යායාත්මක දැනුමෙන් ඔබ්බට ගොස් ප්‍රජාවන්ගේ යහපත වෙනුවෙන් ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිරිගන්වනු ලැබේ.

    මෙවර වැඩසටහනට විශ්වවිද්‍යාල හා වෘත්තීය ක්ෂේත්‍ර කිහිපයක් නියෝජනය කරන කණ්ඩායම් 12 ක් එක් වූ අතර, ඒ අතරට මොරටුව විශ්වවිද්‍යාලය, SLIIT, IIT, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන පාසල (UCSC), NSBM, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, APIIT, Digital Trust Alliance සහ ECU ඇතුළත් විය. එම කණ්ඩායම් නායකත්ව පුහුණුව සාර්ථක ලෙස සම්පූර්ණ කරමින්, ප්‍රජාවන් මුහුණ දෙන සැබෑ අභියෝගවලට විසඳුම් ලබාදීම සඳහා ඵලදායී ව්‍යාපෘති සැලසුම් කළහ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Sysco LABS හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (මානව සම්පත් මෙහෙයුම්) සහ GLO ව්‍යාපෘතියේ ප්‍රධානී රෙහාන් ඇන්තනීස් මහතා පැවසීය:

    “මෙම වැඩසටහන සහභාගී වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් නායකත්වය සම්බන්ධයෙන් තමන් ලැබූ න්‍යායාත්මක දැනුම, ප්‍රජාවන්ගේ සැබෑ අවශ්‍යතා ආමන්ත්‍රණය කරන ව්‍යාපෘති බවට පරිවර්තනය කිරීමට සමත් වුණා. GLO වැඩසටහන තුළින් අප ළඟා කරගැනීමට බලාපොරොත්තු වන ප්‍රධානතම ඉලක්කය එයයි. මේ ව්‍යපෘති සියල්ල, ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් අප නිර්මාණය කරමින් සිටින නායකයන්ගේ හැකියාවන් කෙබඳුද යන්න මැනැවින් පිළිබිඹු කරනවා.”

    සහතිකපත් ප්‍රදානෝත්සවයත් සමඟ GLO වැඩසටහනේ දෙවැනි අදියර නිල වශයෙන් අවසන් වූ අතර, ඊට සමගාමීව  ශිෂ්‍ය ව්‍යාපෘති 4 ක ආරම්භය සනිටුහන් විය. එම ව්‍යාපෘති වන්නේ NSBM කණ්ඩායම විසින් සැලසුම් කරන ලද AI තාක්ෂණය මත පදනම් වූ සුහුරු ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් වන CarbonEye, ECU විසින් සෙවණ ආබාධිත ළමා නිවාසයේ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන සති අටක ජීවන කුසලතා වැඩසටහනක් වන Bright Path, UCSC විසින් ක්ෂේත්‍රයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබන MLOps වර්ගයේ කුසලතා වර්ධන වැඩසටහනක් වන ML Opsidian Genesis සහ Digital Trust Alliance විසින් පාසල් සිසුවියන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් වන Safe Scroll යන ව්‍යාපෘති සතරයි.

    එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අතරට ඇතුළත් ගුණාත්මක අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, පරිසර හිතකාමීත්වය, වගකීම්සහගත පරිභෝජනය, කර්මාන්ත නවෝත්පාදනය සහ තිරසාර නගර වැනි ඉලක්ක කෙරෙහි මෙම ව්‍යාපෘති තුළදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී තිබේ.