October, 15, 2026
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික හමුව අතරතුර අද (15) පෙරවරුවේ පැවැති මාධ්ය හමුවකදී ශ්රී ලංකාවේ ආර්ථික ප්රගතිය පිළිබඳව කරුණු පැහැදිලි කෙරිණි.
ශ්රී ලංකාවේ The Morning පුවත්පත නියෝජනය කරමින් මෙම මාධ්ය හමුවට එක්වූ මාධ්යවේදිනී මධූෂා තවපාලකුමාර් නැගූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් ජාත්යන්තර මූල්ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අංශ ප්රධානී සොනාලි ජේන්-චන්ද්රා (Sonali Jain-Chandra) කියා සිටියේ වත්මන් වැඩසටහන යටතේ ශ්රී ලංකාව සැලකිය යුතු ආර්ථික ජයග්රහණ රැසක් අත්කර ගෙන ඇති බවයි.
විශේෂයෙන්ම අර්බුදයෙන් පසුව ශ්රී ලංකාව අඛණ්ඩව කාර්තු 11 ක් පුරාවට ධනාත්මක ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇති බව ඇය සඳහන් කළාය. එමෙන්ම රාජ්ය ආදායම් අනුපාතය දෙගුණ වී ඇති අතර, රාජ්ය මූල්ය ක්රියාකාරීත්වය ඉතා ශක්තිමත් මට්ටමක පවතින බවත්, ණය ප්රතිව්යූහගතකරණ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවත් ඇය පෙන්වා දුන්නාය. යහපාලනය ඇතුළු ව්යුහාත්මක ප්රතිසංස්කරණ ක්ෂේත්රයේද වැදගත් ප්රගතියක් ලබා ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
එහිදී වැඩිදුරටක් ඇය පැවසුවේ ජාත්යන්තර මූල්ය අරමුදලේ, විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ඇති වැඩසටහන අවසන්වීමට තිබෙන මාස පහකට අඩු කාලය තුළ ශ්රී ලංකාව හමුවේ තවත් සමාලෝචන දෙකක් ඉතිරිව පවතින බවයි. 2026 ඔක්තෝබර් මුල් භාගයේදී 7 වන සමාලෝචනය සඳහා වන මාණ්ඩලික මට්ටමේ එකඟතාවයට පැමිණි අතර, ඉදිරි සතිවලදී එය ජාත්යන්තර මූල්ය අරමුදලේ විධායක මණ්ඩලයේ සලකා බැලීමට යොමු කිරීමට නියමිතය. ඉන් අනතුරුව, 2027 මාර්තු මාසයේදී වත්මන් වැඩසටහන අවසන් වීමට පෙර අවසන් සමාලෝචනය සිදුකිරීමට නියමිතව ඇත.
2028 වසරේ සිට නැවතත් ප්රධාන වශයෙන් විදේශ ණය ගෙවීම් ආරම්භ වන අතර, දේශගුණික සහ බලශක්ති මිල වෙනස්වීම් වැනි බාහිර බලපෑම්වලටද රට මුහුණ දී සිටී.
වත්මන් වැඩසටහනෙන් පසුව නැවතත් මූල්ය හෝ තාක්ෂණික සහාය වැඩසටහනක් ඉල්ලා සිටින්නේද යන්න තීරණය කිරීම ශ්රී ලංකා බලධාරීන්ගේ පූර්ණ අයිතියක් බව සොනාලි ජේන්-චන්ද්රා අවධාරණය කළාය. නව මූල්ය සම්පාදන වැඩසටහනක්, නිරීක්ෂණ රාමුව යටතේ නිශ්චිත ප්රතිපත්ති උපදෙස් ලබා දීම හෝ ධාරිතා සංවර්ධනය (Capacity Development) වැනි ඕනෑම ක්රමවේදයක් ඔස්සේ ශ්රී ලංකාවට සහාය වීමට ජාත්යන්තර මූල්ය අරමුදල සූදානමින් සිටින බව ඇය සඳහන් කළාය. ජාත්යන්තර මූල්ය අරමුදල සෑම විටම ශ්රී ලංකාව වෙනුවෙන් කැපවූ සහකරුවෙකු ලෙස රැඳී සිටින බව ඇය අවසන් වශයෙන් පැවසුවාය.
Video Story