මහජන බැංකුවෙන් ණය ගත්තේ ඩොලර් තැන්පතුවක් ඇපයට තියලා – LOLC හෝල්ඩිංග්ස් වෙතින් නිවේදනයක්

    October, 15, 2026

    LOLC හෝල්ඩිංග්ස් පීඑලසී විසින් මහජන බැංකුවෙන් ලබා ගෙන ඇති ණය පහසුකමක් සම්බන්ධයෙන් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන යම්ර යම් තොරතුරු සම්බන්ධයෙන් මහජනයා වෙත දැනුම් දීමක් කරමින් LOLC හෝල්ඩිංග්ස් පීඑලසී විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

    අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

    LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, වෙතින් කෙරෙන මහජන දැනුම්දීමයි


    LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී - මහජන බැංකු ණය පහසුකම සම්බන්ධයෙන් පැතිර යන නොමඟ යවන තොරතුරු පිළිබඳ මහජන පැහැදිලි කිරීම

    LOLC සමූහය සහ මහජන බැංකුව සම්බන්ධ බැංකු ණය පහසුකමක් පිළිබඳව අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ දැනට සංසරණය වන නොමඟ යවන සහ සත්‍යයට පටහැනි තොරතුරු සම්බන්ධයෙන් LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි අවධානය යොමු වී ඇත.

    මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ගොඩනගා ඇති නොමඟ යවන නිරූපණය LOLC විසින් තරයේ ප්‍රතික්ෂේප කරයි.

    මෙහි මූලික කරුණ ඉතා සරලය: දේශීය මුදලින් ලබාගන්නා ණය පහසුකම, මහජන බැංකුවේම පවත්වාගෙන යනු ලබන ඇමරිකානු ඩොලර් මුදල් තැන්පතුවක් මඟින් සුරක්‍ෂිත කර ඇත.

    සමූහයේ ගෝලීය භාණ්ඩාගාර සහ මුදල කළමනාකරණ කටයුතුවල කොටසක් ලෙස, LOLC සමූහයේ ආයතන මහජන බැංකුව ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර බැංකු රැසක ඇමරිකානු ඩොලර් තැන්පතු පවත්වාගෙන යයි. ශ්‍රී ලංකාවේ LOLC සමූහයේ ආයතන විසින් එවැනි තැන්පතුවල වටිනාකම ඇපයක් ලෙස භාවිත කර දේශීය මුදල් අරමුදල් ලබාගනු ලබයි. ඒ අනුව, අදාළ ණය පහසුකම සුරක්‍ෂිත කරන සම්පූර්ණ මුදල් ඇපය මහජන බැංකුව සතුවම පවතී. මෙය බැංකු ණය සුරක්‍ෂිත කිරීමේ ඉතාමත් සුරක්‍ෂිත ආකාරයකි.

    එබැවින් අදාළ තැන්පතුව පවතින්නේද, එය පවතින්නේ කොතැනද යන්න පිළිබඳ කිසිදු අවිනිශ්චිතතාවයක් නොමැත. එමෙන්ම, මහජන බැංකුවට විදේශයක පවතින හඳුනා නොගත් වත්කමක් සොයා යාමට හෝ එය අත්පත් කරගැනීමට සිදුවන බවට, හෝ මෙම ගනුදෙනුව මහජනතාවගේ තැන්පතු අනාරක්‍ෂිත අවදානමකට ලක් කරන බවට කෙරෙන ප්‍රකාශ සඳහා කිසිදු සත්‍ය පදනමක් නොමැත.

    මෙය සමූහයේ විවිධ රටවල් සහ මුදල් ඒකක හරහා සිදුකරන අරමුදල් සහ විදේශ මුදල් සම්පත් කළමනාකරණයේ කොටසක් වන සාමාන්‍ය භාණ්ඩාගාර ගනුදෙනුවකි. පවතින ඇමරිකානු ඩොලර් වත්කම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම වෙනුවට, සමූහය එම වත්කම විදේශ මුදල් වත්කමක් ලෙසම පවත්වා ගනිමින්, එහි වටිනාකම භාවිත කර ශ්‍රී ලංකාවේ සහ රටවල් 27ක් පුරා විහිදී ඇති සමූහයේ පුළුල් ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා අවශ්‍ය දේශීය මුදල් අරමුදල් ලබාගනී. මෙවැනි ක්‍රමවේදයන් බහුජාතික සමාගම් විසින් ලොව පුරා භාවිත කරන සාමාන්‍ය භාණ්ඩාගාර සහ විදේශ විනිමය අවදානම් කළමනාකරණ ක්‍රමවේදයන් වේ.

    මෙවැනි සරල, මුදල් තැන්පතුවකින් සම්පූර්ණයෙන්ම සුරක්‍ෂිත ගනුදෙනුවක්, සැක සහිත බැංකු ක්‍රියාපටිපාටියක්, විදේශ විනිමය සම්ප්‍රේෂණයක් හෝ මහජන අරමුදල් අනිසි ලෙස භාවිත කිරීමක් ලෙස නිරූපණය කිරීමට කරන උත්සාහයන්ට කිසිදු සත්‍ය පදනමක් නොමැති අතර, ඒවා ගනුදෙනුව පිළිබඳ සැලකිය යුතු ලෙස විකෘති සහ නොමඟ යවන හැඟීමක් ඇති කරයි.

    එබැවින් LOLC මෙම කරුණ ඉතා බරපතල ලෙස සලකන අතර, අදාළ ප්‍රකාශන සහ ඒවා තුළ අඩංගු නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් සුදුසු නියාමන සහ අනෙකුත් බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට කටයුතු කරමින් සිටී.

    එමෙන්ම, අදාළ නීතිමය නිර්ණායක සපුරාලන අවස්ථාවන්හිදී, සමූහය පිළිබඳ සත්‍යතාවයට පටහැනි හෝ නොමඟ යවන සුළු තොරතුරු නිර්මාණය කිරීම, ප්‍රකාශයට පත් කිරීම, දැනුවත්ව නැවත සම්ප්‍රේෂණය කිරීම හෝ වගකීම් විරහිත ලෙස දිගටම ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින්ට සහ ආයතනවලට එරෙහිව, තමන් සතු සියලු නීතිමය අයිතිවාසිකම් සහ නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට ද සමූහය අදහස් කරන අතර ඒ සඳහා පවතින අයිතිය ද අවධාරණය කරයි.

    LOLC සිය මෙහෙයුම් විනිවිදභාවයෙන් සහ වගකීමෙන් යුතුව අඛණ්ඩව සිදුකරන අතර, සමූහයේ සහ එහි පාර්ශ්වකරුවන්ගේ අයිතිවාසිකම් සහ අභිලාෂයන් ආරක්‍ෂා කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට කිසිසේත් පසුබට නොවෙනු ඇත.