දශකයකට පසු British Airways යළි ශ්‍රී ලංකාවට

    October, 25, 2026

    • British Airways 2015 වසරෙන් පසු පළමු වතාවට ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සෘජු ගුවන් ගමන් සේවා යළි ආරම්භ කරමින් කොළඹට පැමිණීම සනිටුහන් කරයි.
    • කොළඹ සහ ලන්ඩන් ගැට්වික් අතර සතියකට දින 3ක් ක්‍රියාත්මක වන මෙම නව ගුවන් ගමන් සේවාව සමස්ත ශීත ඍතු කාලය පුරාම ක්‍රියාත්මක වනු ඇත.
    • ගුවන් ගමන් සේවා යළි ආරම්භ කිරීම වෙනුවෙන්, British Airways සිය World Traveller ආපසු පැමිණීමේ ගුවන් ගමන් සඳහා රුග 255,000 මුදලකින් ආරම්භ වන විශේෂ වට්ටම් සහිත ගාස්තු හඳුන්වා දෙයි.
    • පසුගිය සතිය තුළ පමණක් ලන්ඩන් සිට කොළඹ දක්වා වන ගුවන් ගමන් පිළිබඳව com නිල වෙබ් අඩවිය ඔස්සේ සිදුකළ සොයා බැලීම් 10%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.

    වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය සෘජුවම සම්බන්ධ කරමින් British Airways ප්‍රථම ගුවන් යානය ඊයේ (24) දින කොළඹට ළඟා විය. මෙය එම ගුවන් සේවා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමකි.

    මෙම මංගල ගුවන් ගමන ශ්‍රී ලාංකික ගුවන් යානා කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවන ලද අතර, එම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් යානය කටුනායකට ළඟා වූ අවස්ථාවේදී සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් සහ බෙර වාදකයින් විසින් එය උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මෙම නව ගුවන් ගමන් මාර්ගය දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරන අතර, සංචාරක, වෙළඳ මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි උන්නතිය උදෙසා ද විශාල පිටුවහලක් වනු ඇත.

    සතියකට දින තුනක් ක්‍රියාත්මක වන මෙම ගුවන් ගමන් සේවාව සඳහා British Airways හි බෝයිං 777 වර්ගයේ ගුවන් යානා යොදා ගැනේ. මෙම යානා Club World (ව්‍යාපාරික), World Traveller Plus (ප්‍රීමියම් ඉකොනොමි) සහ World Traveller (ඉකොනොමි) යන ආසන පන්ති ත්‍රිත්වයකින්ම සමන්විත වේ.

    මෙම නව ගුවන් ගමන් සේවා ආරම්භය සැමරීම වෙනුවෙන්, කොළඹ සිට ලන්ඩන් ගැට්වික් දක්වා ගමන් ගන්නා මගීන් සඳහා ආපසු පැමිණීමේ (return) ගුවන් ගමන් සඳහා 10%ක් දක්වා විශේෂ වට්ටම් පිරිනැමීමට British Airways කටයුතු කර ඇත. ඒ අනුව World Traveller පන්තියේ ගුවන් ටිකට් පතක් රුග 255,000ක් වැනි සුවිශේෂී මිලකට වෙන් කරවා ගැනීමට මගීන්ට අවස්ථාව හිමි වේ.

    British Airways ප්‍රධාන සැලසුම් සහ උපායමාර්ග නිලධාරී Neil Chernoff මහතා පැවසුවේ “වසර දහයකට වැඩි කාලයකට පසු British Airways ගුවන් යානයක් කොළඹට ළඟා වූ මෙම අවස්ථාව අපට ඉතා සුවිශේෂී අවස්ථාවක්. මෙමගින් ශ්‍රී ලංකාව යළිත් අපගේ ගෝලීය ගුවන් ගමන් ජාලය හා සම්බන්ධ වන අතර, තමන්ගේ මීළඟ සංචාරය සැලසුම් කරන ගුවන් මගීන්ට පුළුල් තේරීමක් හිමි වනවා.

    ශ්‍රී ලංකාව යනු එහි ඇති සුහදශීලී බව, පොහොසත් සංස්කෘතිය සහ විශිෂ්ට ආගන්තුක සත්කාරය හේතුවෙන් ලොව පුරා ඉහළ කීර්තියක් උසුලන රටක්. එවැනි රටකට යළිත් ගුවන් ගමන් ආරම්භ කිරීමට ලැබීම ගැන අප බෙහෙවින් සතුටු වනවා. මෙම සුවිශේෂී අවස්ථාව සැමරීමක් ලෙස අප විශේෂ ප්‍රවර්ධන ගාස්තු හඳුන්වා දෙන අතර, අපගේ මගීන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට අප බලාපොරොත්තුවෙන් සිටිනවා.” යනුවෙනි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් Hayleys Advantis සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න මහතා පැවසුවේ “British Airways කොළඹ වෙත ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කිරීම ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ගුවන් සබඳතා වර්ධනය කිරීමේලා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. මෙම සේවාව මගින් ගුවන් මගීන්ට වැඩි ගමන් බිමන් තේරීම් ප්‍රමාණයක් හිමිවන අතරම, දෙරටේම සංචාරක සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි උන්නතියට ද විශාල සහයෝගයක් ලැබෙනවා. ඒවගේම British Airways සමඟ පවතින අපගේ සහයෝගීතාවය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අප බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

    මෙම මංගල ගුවන් වාරය මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු ප්‍රදීබ් විමල්රාජ් මහතා සිය අදහස් දක්වමින් මෙසේ පැවසීය: “යාපනය ප්‍රදේශයේ ඉපිද හැදී වැඩුණු ශ්‍රී ලාංකිකයෙකු ලෙස, වසර දහයකට වැඩි කාලයකට පසු අපගේ ප්‍රථම ගුවන් යානය මගේ මව්බිම වෙත රැගෙන ඒමට ලැබීම මට පුද්ගලිකව ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්. අප වෙත ලැබුණු උණුසුම් පිළිගැනීම නිසා මෙම අවස්ථාව තවදුරටත් අමතක නොවන එකක් බවට පත්වුණා. ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය යා කරන මෙම නව පරිච්ඡේදයේ කොටස්කරුවෙකු වීමට ලැබීම පිළිබඳව මා බෙහෙවින් ආඩම්බර වනවා.”‍

    මෙම නව ගුවන් ගමන් සේවාව ඔස්සේ එක්සත් රාජධානියේ සිට පැමිණෙන ගුවන් මගීන්ට දකුණු ආසියාවේ ආකර්ෂණීයම ගමනාන්තයක් වෙත සෘජුවම ළඟා වීමේ අවස්ථාව උදාවේ. සුන්දර වෙරළ තීරයන්, සංස්කෘතික ස්ථාන, වනජීවී, මනරම් තේ වතු මෙන්ම විවිධත්වයෙන් සපිරි දේශීය ආහාර පාන ඇතුළු සංචාරකයින්ට අත්විඳිය හැකි සුවිශේෂී අත්දැකීම් රැසකින් ශ්‍රී ලංකාව සමන්විත වේ.

    පසුගිය සතිය තුළ පමණක් ලන්ඩන් සිට කොළඹ දක්වා වන ගුවන් ගමන් පිළිබඳව ඉ්ගජදප නිල වෙබ් අඩවිය ඔස්සේ සිදුකළ සොයා බැලීම් 10%කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ. මෙයින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව කෙරෙහි විදේශීය සංචාරකයින් තුළ පවතින අඛණ්ඩ ආකර්ෂණය සහ උනන්දුවයි.