November, 24, 2014
දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ කොට්ටාවට පැමිණෙන වාහන වලට කොළඹට පැමිණීම සඳහා කොට්ටාවේ සිට තලවතුගොඩ කිඹුලාවල දක්වා කනුමත අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා අප සමග සඳහන් කළේ මෙම මාර්ගය පාර්ලිමේන්තු සංකීර්ණය අසලින් අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බවයි.
මීට අමතරව, කැළණිතිස්ස විදුලි බලාගාරය ආසන්නයේ සිට කොළඹ කොටුව දක්වාත් තවත් මාර්ගයක් රාජගිරිය එච්.එස්.බී.සී. බැංකුව අසල සිට වෙස්ලි විද්‍යාලය දක්වාත් කනුමත ඉදිකරන බව පේමසිරි මහතා අප සමග මෙයට පෙර අවස්ථාවක සඳහන් කළේය.
“කැළණිතිස්ස විදුලිබලාගාරය ආසන්නයේ සිට කොළඹ කොටුව දක්වා ඉදිවන මාර්ගයේ දුර කිලෝ මීටර් 06 ක් වෙනවා. මෙය ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 300 ක පමණ මුදල් වැයවනු ඇතැයි ගණන් බලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මෙහි ඉදිකිරීම් ලබන වසරේදී ආරම්භ කරන්නයි.“
මෙම මාර්ගය ඉදිකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ණයදෙන ආයතන කිහිපයකින්ම ණය ලබාගැනීමට සැලසුම් කර ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මාර්ගය කැළණිතිස්ස විදුලි බලාගාරය ආසන්නයේ සිට කොළඹ වරාය ආසන්නයෙන් කොළඹ කොටුව දක්වා ඉදිකරන අතර ඉදිකිරීම් අවසන්වූ පසුව බේස්ලයින් මාර්ගයේ ගමන් නොකර මෙම මාර්ගය ඔස්සේ කොළඹ කොටුවට පැමිණීමට අවස්ථාව ලැබේ.
රාජගිරිය එච්.එස්.බී.සී. බැංකුව ආසන්නයේ සිට වෙස්ලි විදුහල දක්වා කනුමත ඉදිවන මාර්ගයේ දුර කිලෝ මීටර් 04 ක් වන අතර එහි ඉදිකිරීම්ද ලබන වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
“මෙම මාර්ගය ඉදිකිරීම සඳහාත් ණය මුදල් ලබාගැනීමට අපි සාකච්ඡා පවත්වමින් සිටිනවා. මෙය සැලසුම් කර තිබෙන්නේ බොරැල්ල ප්‍රදේශයේ තිබෙන දැඩි රථ වාහන තදබදයට විසඳුමක් ලෙසයි.“
යනුවෙන් පේමසිරි මහතා සඳහන් කළේය.
Video Story