රුපියල් මිලියන 500ක Pure Ceylon Tea වෙළඳනාම ප්‍රවර්ධන වැඩසටහනක්

    July, 25, 2018

    2015 අයවැය යෝජනා අනුව, සිංහ ලාංඡනය සහිත සුපිරිසිදු සිලෝන් තේ වෙළඳ නාමය තවදුරටත් ලොව පුරා ප්‍රචලිත කිරීම සඳහා, වෙළඳ නාම ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

    ඒ අනුව, සමාගම් 19ක් සමඟ ගිවිසුම් ඇති කරගෙන තිබූ අතර, ඒ යටතේ රුපියල් මිලියන 177ක පමණ මුදලක් එම කාර්යය සඳහා වියදම් කර තිබුණි.

    මෙම වෙළඳ නාම ප්‍රවර්ධන යෝජනා ක්‍රමය 2018/2019 වර්ෂය සඳහාද දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය සැලසුම් කර තිබේ.

    ඒ අනුව, ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සැලසුම් කරන ලද ගෝලීය තේ ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව පෞද්ගලික වෙළඳ නාම ප්‍රවර්ධනය කිරීම පිණිස අදාළ සුදුසුකම් සපුරන, සම්පූර්ණ දේශීය හිමිකාරිත්වයක් සහිත තේ අපනයන සමාගම්/අපනයනකරුවන් දරනු ලබන ප්‍රවර්ධන වියදමින් 50%ක ප්‍රමාණයක් ඔවුන් වෙත ප්‍රතිපූරණය කිරීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අරමුදල්වලින් රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.