සම්පත් සහ HNB, USAID සමඟ හවුල් වෙයි

    September, 10, 2018

    ශ්‍රී ලංකාව පුරා ඇති ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ පෞද්ගලික ව්‍යවසායන්ට ඩොලර් මිලියන 9 ක් දක්වා දේශීය වශයෙන් අරමුදල් ලබා දීමට අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය (USAID), එහි සංවර්ධන ණය අධිකාරිය (DCA)හැටන් නැෂනල් බැංකුව (HNB) හා සම්පත් බැංකුව සමඟ එක්ව නව සහයෝගීතා වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මෙම කණ්ඩායම්වලට ඔවුන්ගේ කටයුතු සඳහා මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ දී වර්තමානයේ මුහුණ දෙන ගැටලුවලට මෙම හත් අවුරුදු වැඩසටහන අවධානය යොමු කරනු ඇත.

    ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ ස්වයං රැකියා අවස්ථා හා රැකියාවක යෙදීමේ හැකියාව ශක්තිමත් කරන YouLead වැඩසටහන ද මෙම සහයෝගීතාවට සහායක් මෙන්ම අනුපූරකයක් වනු ඇත.

    ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට හා තරුණ ව්‍යවසායකයන්ට ප්‍රාග්ධනය ලබා ගැනීමට, ව්‍යාපාර පුළුල් කිරීමට හා අවසානයේ වැඩිපුර රැකියා නිර්මාණය කිරීමට ඉඩ සලසන තීරණාත්මක පියවරක් ලෙස මෙම වැඩසටහන දැක්විය හැකිය.

    දැනට ඇති ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසාය හා අලුතෙන් ආරම්භ කළ සමාගම් ඇතුළු ශ්‍රී ලංකා ආර්ථිකයේ සේවාවන් නොලැබෙන කොටස්වල නවෝත්පාදනය දිරිගැන්වීමට, ආයෝජන වැඩි කිරීමට හා තීරණාත්මක සම්පත් ලබා දීමට මෙම ගිවිසුම තුළින් හැකියාව ලැබෙනු ඇත.