උඩින් යන මහපාරකට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300 ක ණයක්

    September, 28, 2018

    නව කැලණි පාලම හා ගෝල්ෆේස් අතර ඉදිවන කිලෝමීටර 5.3 කින් යුතු ඉහළින් දිවෙන මහාමාර්ගය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබේ. සිය අධ්‍යක්ෂ මණ්ඩල හමුවේ දී මෙම තීරණය ගනු ලැබූ බව ඊයේ (27) දිනයේ දී ආසියානු සංවර්ධන බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරයි.

    මෙම නව ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර ජ්‍යෙෂ්ඨ ප්‍රවාහන විශේෂඥ Kanzo Nakai මෙසේ පැවසීය.

    “දකුණු ආසියානු කලාපයේ වෙළෙඳ හා නාවුක කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ දී යටිතල පහසුකම් සංවර්ධනය හා සම්බන්ධතා වැඩිදියුණු කිරීම ශ්‍රී ලංකාව අත්‍යාවශ්‍යයෙන් අවධානය යොමු කළ යුතුයි. මෙම නව මහාමාර්ගය හරහා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සිට කොළඹ නගර මධ්‍යයට සෘජුව ගමන් කිරීමේ අවස්ථාව හිමිවෙනවා.“

    මෙම ණය මුදලට අමතරව අධිවේගී මාර්ග මෙහෙයුම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් තවත් ඩොලර් ලක්ෂ 5 ක් ප්‍රදානය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟකාවය පළ කර තිබේ.

    ඡායාරූපය - කොළඹ වරාය