අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි

    October, 5, 2018

    සේවක අර්ථ සාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත ආරම්භ කිරීමට පෙර පූර්ව සූදානම් වී රැසක් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය.

    “මේ සඳහා සූදානම් වීමට කළ යුතු වැඩ රාශියක් තිබෙනවා. ආයෝජන හා ගනුදෙනු මාර්ගෝපදේශ ඇගයීම ඉන් එකක්. දෙවනුව, නියෝජ්‍ය අධිපතිවරයා විසින් සභාපතිත්වය දරනු ලබන ආයෝජන කමිටුව සෑම දිනක දීම හමුවිය යුතුයි. එසේම තීරණ ගැනීම සාමූහිකව කළ යුතුයි. ඊට අමතරව CCTV හා Voice recording දාලා තියෙනවා. අපේ කාර්ය මණ්ඩලයට පුහුණුවත් දෙනවා.

    “වෙළෙඳපොළ බලා කොටස් ලැයිස්තුවක් හදනවා. එම ලැයිස්තුව බලා, මේ සමාගම් කොටස් පමණක් ආයෝජනය කරන බවට මුදල් මණ්ඩලයේ අනුමැතිය ගත යුතුයි . ලැයිස්තුගත නොවන සමාගම් කොටස්වල ආයෝජනයට යන්නේ නැහැ“, යනුවෙන් පැවසූ අධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ රුපියල් ට්‍රිලියන 2 ක අරමුදලක් වන සේවක අර්ථ සාධක අරමුදලෙන් මේ වන විට කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කර ඇත්තේ 2.3% ක පමණ සුළු ප්‍රමාණයක් බවයි.

    මෙහිදී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.