මහ බැංකුවේ සංචිත මාසයක දී ඩොලර් මිලියන 1,404 කින් පහළට

    October, 8, 2018

    පසුගිය සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,404.46 කින් පහළ ගොස් තිබේ.

    2018 අගෝස්තු 31 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති ජාත්‍යන්තර සංචිත හා විදේශ විනිමය සංචිතය එක්සත් ජනපද ඩොලර් මිලියන 8,584.54 ක් ලෙසින් සටහන් වූ අතර එය 2018 සැප්තැම්බර් 28 දින වන විට ඩොලර් මිලියන 7,180.08 ක් දක්වා ඩොලර් මිලියන 1,404.46 කින් පහළ වැටී ඇත.

    මෙහිදී ප්‍රධාන වශයෙන් මහ බැංකුවේ විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 7,747.18 සිට ඩොලර් මිලියන 6,351.15 ක් දක්වා අඩු වී තිබේ.

    තවද මහ බැංකුවේ රන් සංචිතය ද ඩොලර් මිලියන 768.69 සිට ඩොලර් මිලියන 760.56 ක් දක්වා 2018 සැප්තැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 8.13 කින් පහළ ගොස් ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.