ටයිල් සහ සනීපාරක්ෂක උපාංග කර්මාන්තය අධි ආරක්ෂණයෙන් අවසානයේ පීඩා විඳින්නේ පාරිභෝගිකයාද?

    October, 26, 2018

    මෙරට ඉදිකිරීම් කර්මාන්තයේ පිරිවැය ස්ථාවර කිරීම පිළිබඳ සාකච්ඡාව

    ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන්ගේ සංගමය (TSIA) ටයිල් සහ සනීපාරක්ෂක උපාංග මත මෙතෙක් පවත්වාගෙන ආ ආරක්ෂණ බද්ද හේතුවෙන් පැන නැගී ඇති ගැටළු රැසක් පිළිබඳ අවධාරණය කරයි. ක්ෂේත්‍රයේ පවතින දුෂ්කරතා මගහරවා ගනිමින් සාධාරණ ව්‍යාපාරික ප්‍රතිපත්තියකට අනුව සිය ව්‍යාපාරික කටයුතු සිදුකර ගැනීමේ අවස්ථාව සිය සාමාජිකයන් හට ලබාදීමේ අරමුණින් යුතුව මීට දශකයකට පෙර ස්ථාපනය කෙරුණු එම සංගමය පසුගියදා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අවධාරණය කළේය.

    ටයිල් සහ සනීපාරක්ෂක උපාංග වෙළඳපල තුළ දේශීය නිෂ්පාදකයන් 51%ක හිමිකාරිත්වයක් දරන අතර එම උපාංග ආනයනකරුවන් හට ඉතිරි 49%ක වෙළඳපල කොටස මත යැපීමට සිදුවී තිබේ. ආනයනය හෝ දේශීයව නිෂ්පාදනය හෝ ඉහළම තරගකාරීත්වයකින් යුතුව පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. දේශීය නිෂ්පාදකයන් දීර්ඝ කාලයක පටන් වෙළඳපල තුළ රැඳී සිටින අතර සමස්තයක් ලෙස කර්මාන්තයේ උන්නතිය සඳහා බලපාන දුර්වලතා රැසක් හඳුනා ගත හැකිය. දේශීය නිෂ්පාදකයෝ සෑම විටම වෙළඳපල හිමිකාරිත්වය රඳවා තබා ගැනීම සඳහා රාජ්‍ය ආරක්ෂණය මත යැපෙති. එහි ප්‍රතිඵලයක් ලෙස ආනයනික භාණ්ඩ සඳහා තීරු බදු ඇතුළු ඉතා ඉහළ බදු ප්‍රමාණයක් ගෙවීමට ආනයනකරුවන් හට සිදුවී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙරට ඉදිකිරීම් පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ ඉහළම ඉදිකිරීම් පිරිවැයක් සහිත රටක් බවට ද පත්ව ඇත. මෙහිදී අවධාරණය කරගත යුතු වැදගත් ම කරුණ වන්නේ, රජයේ ප්‍රතිපත්ති සකස්කරන්නන් මෙම ක්‍රියාමාර්ග හරහා සැලසුම් කරන්නේ දේශීය නිෂ්පාදන කර්මාන්තය රැක ගැනීමට ද; නොඑසේ නම් දේශීය ඉදිකිරීම් කර්මාන්තය රැක ගැනීමට ද යන්නය. මේ කුමන අරමුණක් යටතේ වුව ද අවසාන පාරිභෝගිකයාගේ අභිලාෂයන් සාක්ෂාත්වන අයුරින් කටයුතු කිරීම‍ට ප්‍රතිපත්ති සකස්කරන්නන් හට විශාල වගකීමක් පවතින බව අවධාරණය කළ යුතුය.

    අනෙක් අතට, සෙරමික් නිෂ්පාදනය යනු විශාල වශයෙන් බලශක්තිය වැයවන කර්මාන්තයකි. එම තත්ත්වය යටතේ, දේශීය වශයෙන් ප්‍රමාණවත් තරම් බලශක්ති සංචිත පවතින රටවලින් ශ්‍රී ලංකාවට මේවන විටත් විශාල තරගකාරීත්වයකට මුහුණ දීමට සිදුවී තිබේ. ඉන්ධන සහ අනෙකුත් අමුද්‍රව්‍ය ආනයනය කිරීමට සිදුවීම නිසා දේශීය නිෂ්පාදකයෝ අභියෝග රැසකට මුහුණ පා සිටිති. ඒ අනුව කාලයත් සමග ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමේ අවස්ථා සහ තරගකාරීත්වය සීමා වෙමින් පවතී.

    අනෙක් අතට රජය ද නිෂ්පාදන කටයුතු සඳහා ලබාදෙන ඉන්ධන සහනාධාරයට අමතරව දේශීය නිෂ්පාදකයන් හට දේශීයත්වයට ප්‍රමුඛතාව ලබාදීම හරහා 100%ක් ඉක්මවූ ආරක්ෂණයක් ද ලබාදී ඇත. එනම්, දේශීය නිෂ්පාදන සඳහා 20%ක් පමණ ඉහළ මිලක් දැරීමට සිදු වුව ද ටෙන්ඩර් සඳහා එම නිෂ්පාදනවලට වැඩි නැඹුරුවක් ලබාදී ඒවා තෝරා ගැනේ. සෑම ආනයනය කෙරෙන භාණ්ඩයක් සඳහා ම 100% ඉක්මවූ ආරක්ෂණ බද්දක් ගෙවිය යුතු අතර එමගින් දේශීය නිෂ්පාදකයන් හට ද සමස්තයක් ලෙස ආරක්ෂණයක් හිමිවේ.

    දේශීය නිෂ්පාදකයන් හට ප්‍රපාතනය (Anti-dumping) සඳහා සහයෝගය ලබාදීම තුළින් ශ්‍රී ලාංකිකයන් හට අවස්ථා ලබාදීම සෑම රජයක් ම ගත යුතු වැදගත් පියවරකි. කෙසේ වෙතත්, ඕනෑම කර්මාන්තයක් දිගුකාලීන ලෙස පවත්වා ගැනීමට නම් ඒ සඳහා තරගකාරීත්වයක් තිබිය යුතු අතර, ඕනෑම රටක දේශීය නිෂ්පාදකයන් ද එම තරගකාරීත්වය පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතුය. අඩු ජනගහණය, භූගෝලීය සාධක සහ වෙනත් කරුණු රැසක් හේතුවෙන් මෙරට නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති අතර දේශීය නිෂ්පාදනයේ තරගකාරීත්වයට මුහුණ දීමට ඇති හැකියාව අඩුවී ඇත. එබැවින් විශේෂයෙන් ඉදිකිරීම් කර්මාන්තය වැනි කර්මාන්තයක් ඉදිරියට පවත්වා ගැනීම සඳහා ආනයනය ද අතිශය වැදගත්වන බව අවධාරණය කළ යුතුය.

    "ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනය සම්බන්ධව පවතින දැවැන්ත ම මිත්‍යාව නම්, මෙම නිෂ්පාදන ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව ආදී රටවලින් බැහැර කරන බාල වර්ගයේ නිෂ්පාදන බවය. නමුත් මෙම නිෂ්පාදන ද මෙරටින් අනෙකුත් රටවලට අපනයනය කෙරෙන නිෂ්පාදන මෙන්ම ප්‍රමිතිය සහතික කරන ලද නිෂ්පාදන බව සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන ටයිල් ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් 100%ක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS ප්‍රමිතියට අනුකූල ද යන්න පරික්ෂා කරනවා. එය ISO ප්‍රමිතියට සමානවන අතර එම පරික්ෂාව වසර 10ක කාලයක පටන් සිදු කෙරෙනවා. රේගුවෙන් භාණ්ඩ නිදහස් කෙරෙන්නේ සාම්පල SLS ප්‍රමිතීන්ට අනුකූල බවට සනාථ කිරීමෙන් පසුව පමණයි" යනුවෙන් ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන්ගේ සංගමයේ (TSIA) කළමනාකාරීත්වය මෙහිදී සඳහන් කළේය.

    මීට වසර 10-15 කට පෙර මෙම කර්මාන්තය තුළ එවැනි ප්‍රමිතීන් හෝ ඒ පිළිබඳ අවබෝධයක් හෝ නොතිබිණ. නමුත් ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන්ගේ සංගමය (TSIA) දිවයින පුරා විසිරී සිටින ආනයනකරුවන් එකම වහලක් යටතට ගෙන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමග අත්වැල් බැඳගනිමින් ඔවුන් දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් සහ වැඩමුළු රැසක් සංවිධානය කළේය. ඒ අනුව, ප්‍රමිතියෙන් අඩු නිසා ප්‍රතික්ෂේපවන නිෂ්පාදන ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහත බැස ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සංඛ්‍යාලේඛන මගින් පැහැදිලි වේ. පසුගිය වසර ගණනාව පුරා එතරම් ශීඝ්‍රයෙන් ප්‍රමිතිය වැඩිදියුණු කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එම සංගමයට සිය ගෞරවය පුදකර ඇත.

    තමන් දේශීය නිෂ්පාදකයන්ගේ මග හරස් කිරීමට අපේක්ෂා නොකරන නමුත්, දේශීය නිෂ්පාදකයන් රැක ගැනීමේ අරමුණින් යුතුව ආනයනික උපාංග මත තවත් බදු පැනවීම මගින් මෙරට ආර්ථිකයටත්, පාරිභෝගිකයාටත් අත්විඳීමට සිදුවන අහිතකර තත්ත්වයන් පිළිබඳ අදාළ බලධාරීන් සහ වෙනත් පාර්ශ්ව අවබෝධ කරගත යුතු බව ද එම සංගමය වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය. "දේශීය වශයෙන් සෙරමික් නිෂ්පාදනයේ ඇති අනෙක් අවාසිය නම් පරිසර දුෂණයයි. සංචාරක කර්මාන්තය මත දැඩි ලෙස යැපෙන රටක් ලෙස අප පාරිසරික ප්‍රමිතිය පවත්වා ගැනීමටත් වෙනත් කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කිරීමටත් කටයුතු කළ යුතුයි" ඔවුහු සඳහන් කළෝය.

    ශ්‍රී ලාංකේය සහ ජාත්‍යන්තර ආර්ථිකය තුළ මුහුණදීමට සිදුවන 100% ඉක්මවූ ආරක්ෂණ බද්ද ඇතුළු අභියෝග රැසක් මධ්‍යයේ වුව ද මෙරටට ආදායම් හිමිකර දෙන අතර ම, ප්‍රමිතිය හා තරගකාරීත්වය පවත්වා ගැනීමටත් ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනය සමත්ව සිටී.

    ආනයන මත තවදුරටත් පටවන මෙම බදු මගින් පීඩාවට පත් වන්නේ මූලික වශයෙන් මෙරට පාරිභෝගිකයන් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය බව ද ඔවුහු පෙන්වා දුන්හ. අනෙක් අතට, දේශීය නිෂ්පාදකයන් රැක ගැනීම සඳහා ආනයනකරුවන් මත බදු පැනවීම මත දේශීය ඉදිකිරීම් කර්මාන්තය අනතුරට ලක්වේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවේ පවතින මෙම ගැටළුව මේවන විටත් හඳුනාගෙන ඇත.

    එබැවින් මෙම කර්මාන්තයේ අංශ දෙකම වෙළඳපල තුළ පැවතීම වැදගත්ය. රජය විසින් දැනටමත් දේශීය නිෂ්පාදකයන් හට 100% ඉමවූ ආරක්ෂණයක් ලබාදී ඇති බැවින් ඔවුන් හට තරගකාරී ක්ෂේත්‍ර වෙත ගමන් කිරීම සඳහා දිරිමත් කිරීමට කාලය එළඹ ඇත. බදු වැඩි කිරීම හෝ ඒකාධිකාරියක් ගොඩනැගීම මගින් ශ්‍රී ලාංකේය ආර්ථිකය හෝ ඉදිකිරීම් කර්මාන්තය වර්ධනය නොවන බව අවධාරණය කළ ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන්ගේ සංගමය (TSIA), ක්ෂේත්‍රයේ නව මානයන් සොයා යාමටත්, සමස්ත කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහාත් සියලු පාර්ශ්වවලට ආරාධනා කර සිටියේය.

    (මෙය ටයිල් සහ සනීපාරක්ෂක උපාංග ආනයනකරුවන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකි.)