කොළඹ කොටස් දෛනික පිරිවැටුම රු. බිලියන 3 ½ ඉක්මවයි

    October, 29, 2018

    සියලු කොටස් මිල දර්ශකය ඒකක 100 ක් ඉක්මවා වර්ධනය වූ කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පිරිවැටුම අද (29) දහවල් 12.20 පමණ වන විට රුපියල් බිලියන 3.6 සීමාව පසුකර ගියේය.

    මෙය 2018 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී තිබෙන දෛනික සාමාන්‍ය පිරිවැටුම වන රුපියල් මිලියන 768.2 හා සැසඳීමේ දී පස් ගුණයකට ආසන්න අගයයකි.

    මේ සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වය දෙන ලද්දේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි ගිවිසා ගනු ලැබූ ගනුදෙනු කිහිපයකි. මෙහිදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටස් මිලියන 19.63 ක් රු. 141.00 බැගින් ගනුදෙනු වූ අතර රුපියල් බිලියන 2.76 ක පිරිවැටුමක් එමඟින් වාර්තා විය.

    මීට අමතරව තවත් ගිවිසා ගනු ලැබූ ගනුදෙනු දෙකක් දිනය තුළ මේ දක්වා වාර්තා වී තිබේ. එහිදී සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිලියන 15 ක් රුපියල් 20.20 බැගින් හා හැටන් නැෂනල් බැංකු සමාගමේ කොටස් මිලියනයක් රු. 205.00 බැගින් අද දින ගනුදෙනු විය. මෙම ගනුදෙනු හරහා පිළිවෙලින් රු. මිලියන 303.00 ක හා රු. මිලියන 205.00 ක පිරිවැටුම් වාර්තා වී තිබේ.