රාජ්‍ය ආයතනවල මුල්පුටුවලට සුදුසුකම්ලත් වෘත්තිකයින් පත්කිරීමට කමිටුවක්

    November, 28, 2018

    රාජ්‍ය සංස්ථා/ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යසායයන් සඳහා සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමේදී එම ව්‍යවසායයන්හි අරමුණු සහ ඉලක්ක සපුරා ගැනීමට හැකි වන පරිදි, වෘත්තීය සුදුසුකම් සහිත පළපුරුදු පුද්ගලයින් සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කිරීමේ අවශ්‍යතාව රජය විසින් අවධාරණය කර තිබේ.

    එහෙයින් එකී ව්‍යවසායයන්හි අධ්‍යක්ෂ මණ්ඩල සඳහා නිල බලයෙන් පත් වන සාමාජිකයින් (Ex-Officio) හැර අනෙකුත් පත් කිරීම් සිදු කිරීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමත කර ඇති නිර්ණායක පදනම් කරගනිමින්, ශ්‍රී ලංකාවේ හෝ පිළිගත් විදේශ විශ්වවිද්‍යාලයක උපාධිධාරයෙකු වීම හෝ පිළිගත් වෘත්තීය සුදුසුකම් සහ අදාළ ක්ෂේත්‍රයේ දීර්ඝ වෘත්තීයමය පළපුරුද්ද සහිත පුද්ගලයින් පත් කිරීමට, අදාළ විෂයභාර අමාත්‍යවරුන්ට හැකි වන පරිදි, අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ජනාධිපති ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.