දේශපාලනය අස්ථාවරයි – රුපියල ස්ථාවරයි?

    December, 4, 2018

    එක්සත් ජනපද ඩොලරය ඇතුළු විදේශ මුදල් ඒකකවලට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල් මේ වන විට ක්‍රමයෙන් ස්ථාවර වන ස්වභාවයක් පෙන්නුම් කර තිබේ.

    මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (04) දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 176.6106 ක් ලෙසින් වාර්තා වූ විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 180.5705 ක් වශයෙනි.

    මේ අතර නිරූපිත එතැන් එක්සත් ජනපද ඩොලරයේ විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) අද දින සටහන් වූයේ රුපියල් 178.8232 ක් ලෙසිනි. නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය යනු පෙර දිනයේදී දේශීය විදේශ විනිමය වෙළදපොළහි එ.ජ.ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලහි සිදු වූ සමස්ත සැබෑ එතැන් ගණුදෙණුවල බර තැබූ සාමාන්‍ය අගය යි.

    පසුගිය නොවැම්බර් 28 දින ඉතිහාසයේ ඉහළම නිරූපිත එතැන් එක්සත් ජනපද ඩොලරයේ විනිමය අනුපාතිකය වාර්තා වූ අතර එය රුපියල් 180.3916 ක් විය.

    මේ අනුව නොවැම්බර් 28 සිට අද (04) දින දක්වා අඛණ්ඩව එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලේ අධිප්‍රමාණය වීමක් වාර්තා වේ.

    කෙසේ වෙතත් මෙරට මෑතකාලීන දේශපාලන බලපෙරළිය සිදුවූ පසුගිය ඔක්තෝබර් 26 දින නිරූපිත එතැන් එක්සත් ජනපද ඩොලරයේ විනිමය අනුපාතිකය සටහන් වූයේ රුපියල් 172.8276 ක් ලෙසිනි.