ඉතිහාසයේ පළමුවරට ඩොලරයේ විකුණුම් මිල රු. 183 ඉක්මවයි

    December, 26, 2018

    ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (26) දින රුපියල් 183 සීමාව ඉක්මවා යනු ලැබීය. එසේම ඩොලරයක ගැණුම් මිල ද මුල් වරට රුපියල් 179 සීමවා ද අද දින ඉක්මවා ගියේය.

    මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 179.2039 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 183.1744 ක් ලෙසිනි.

    මේ අතර 2018 වසඓර් දෙසැම්බර් මස 21 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 15.5 කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

    තවද අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපෙක්ෂව ද අවප්‍රමාණය වී තිබේ.

    සමස්තයක් වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ එක්සත් ජනපද ඩොලරයට ශක්තිමත් වීම, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි ආයෝජන පිටතට ගලා යෑම් සහ ආනයන ගෙවීම් වෙනුවෙන් විදේශ විනිමය වෙළෙඳපොළ තුළ පැවති ඉල්ලුම, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අවප්‍රමාණය වීම කෙරෙහි වැඩි වශයෙන් බලපෑ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.