රටක කොටස් වෙළෙඳපොළ යනු එම රටේ ආර්ථිකයේ හරස්කඩකි. ශ්‍රී ලංකාවට ද එය එලෙසින්ම අදාළය. මෙවර අප සූදානම් වන්නේ 2018 වසරේ දී ශ්‍රී ලංකාවේ එකම කොටස් වෙළෙඳපොළ වන ‘කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව‘ හෙවත් ‘කොළඹ කොටස් වෙළෙඳපොළ‘ හැසිරුණේ කෙසේදැයි යන්න පිළිබඳව ආපසු හැරී බලන්නටය.
සාමාන්‍යයෙන් වසරක පළමු දිනය එනම් ජනවාරි 01 දා කොටස් වෙළෙඳපොළට නිවාඩු දිනයකි. අද දින කොටස් වෙළෙඳපොළට නිවාඩු දිනයක් වූයේ ද එබැවිනි. මේ අනුව 2018 මුල් වරට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු 2018 ජනවාරි දෙවන අඟහරුවාදා දින ආරම්භ විය. 2018 වසර ආරම්භයේ දී කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,369.26 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර එදින S&P SL20 දර්ශකය එදින සටහන් වූයේ ඒකක 3,671.72 ක් ලෙසිනි.
ජනවාරි 01
- කොටස් වෙළෙඳපොළ පළමු දින ගනුදෙනු ආරම්භ වූයේ මෙරට විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි වූ අධ්‍යක්ෂ මණ්ඩල වෙනසක් ද සමඟිනි. ඒ අනුව එහි විධායක අධ්‍යක්ෂවරුන් වූ අජිත් ගුණවර්ධන හා රොනී පීරිස් 2017 දෙසැම්බර් 31 දින සිට අදාළ තනතුරුවලින් විශ්‍රාම ගත් අතර ක්‍රිෂාන් බාලෙන්ද්‍ර හා ගිහාන් කුරේ විසින් එම විධායක අධ්‍යක්ෂ තනතුරුවල පුරප්පාඩු පුරවනු ලැබීය.

ජනවාරි 02
- ETI ෆිනෑන්ස් ලිමිටඩ් හා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී යන ආයතවනල පවතින අසතුටුදායක මූල්‍ය කාර්යසාධනය හේතුවෙන් එම ආයතන දෙකෙහි කළමනාකරණ කටයුතු විශ්‍රාමික හිටපු සහකාර මහ බැංකු අධිපතිවරයෙකු වන සේපාල රත්නායක ගේ ප්‍රධානත්වයෙන් යුතු මණ්ඩලයකට පවරන බව මහ බැංකුව පැවසීය. ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී, කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් වන අතර එහි 90% ක කොටස් හිමිකාරීත්වය පැවතියේ ETI ෆිනෑන්ස් ලිමිටඩ් සතුවය.
ජනවාරි 05
- වසර තුළ ලැයිස්තුගත කෙරුණු පළමු සමාගම ලෙසින් ජෙට්වින් සිම්ෆනි ලිමිටඩ් සමාගමේ ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කෙරිණි.

- 2018 වසරේ මුල් ගනුදෙනු දින 4 තුළ දී 145.47 ක කැපී පෙනෙන වර්ධනයක් සියලු කොටස් මිල දර්ශකයෙන් වාර්තා විය. 2017 සමස්ත වසර පුරාවටම සියලු කොටස් මිල දර්ශකය වර්ධනය වී තිබුණේ ඒකක 141 කින් පමණි.
ජනවාරි 09
- 2018 වසරේ දී කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණු නවතම සමාගම බවට LVL Energy Fund Ltd, සිය ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කරනු ලැබීය. මෙම සමාගමේ ලැයිස්තුගත කිරීමත් සමඟින්, ඉතිහාසයේ මුල්වරට, කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ලැයිස්තුගත සමාගම් හා අරමුදල් සංඛ්‍යාව 300 ක් බවට පත්විය.

ජනවාරි 11
- සිය නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීමටත්, නව නිෂ්පාදන සංවර්ධනය සහ අපනයන වර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 03 ක නව ආයෝජනයක් සිදුකරන බව සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම නිවේදනය කර සිටී.

ජනවාරි 19
- හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් පාසල් හා කාර්යාලයීය උපකරණ කර්මාන්තයේ නිරත මෙරට පැරණිතම සමාගම් වන ඇට්ලස් මිල දී ගනී. මේ සඳහා ආයෝජිත මුදල් රුපියල් බිලියන 5.7 කි.

ජනවාරි 24
- ලංකා IOC සමාගම 2017 දෙසැම්බර් 31 න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී රුපියල් මිලියන 652 ක අලාභයක් වාර්තා කර ඇති බව එම සමාගමේ අතුරු මූල්‍ය ප්‍රකාශන පෙන්වා දේ.
ජනවාරි 30
- ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි තෙවනියට විශාලතම කොටස් හිමියා වූ ලංකා බැංකුව, සිය කොටස් හිමිකාරීත්වය රුපියල් මිලියන 200කට විකුණා දමයි.
- කොළඹ කොටස් වෙළෙඳපොළේ කොටස් තැරැව්කාර සමාගමක් ලෙසින් ක්‍රියාත්මක වූ නවාර සිකියුරිටීස් (පුද්) සමාගමේ කටයුතු ස්වෙච්ඡාවෙන් අක්‍රීය කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කරයි.
පෙබරවාරි 01
- 'කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමූහිකරණයට පත් කිරීමේ පනත් කෙටුම්පත' රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිවේ.
පෙබරවාරි 02
- ජර්මනියේ හා යූරෝපානු සංගමයේ ලියාපදිංචි Allianze S E සමාගම, ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන Janashakthi General Insurance Limited හි සියලුම කොටස් රුපියල් බිලියන 16.4 කට මිල දී ගැනීමට තීරණය කරයි.
පෙබරවාරි 14
- මුරුසියේ ලියාපදිංචි Samena Ceylon Holdings Limited සමාගම පුද්ගලික නිකුතුවක් හා හිමිකම් නිකුතුවක් හරහා සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් වෙත රුපියල් බිලියන 3.1 ක් ආයෝජනය කිරීමට තීරණය කරයි. මේ හේතුවෙන් දින 14 ක් තුළ දී සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් කොටස් මිල 75% කින් යයි.

පෙබරවාරි 19
- පාසැල් සිසුන් හා ගුරුවරුන් වෙනුවෙන් ටැබ් පරිගණක ලබා දීමේ රජයේ වැඩපිළිවෙල යටතේ අදාළ කොන්ත්‍රාත්තුව Abans PLC වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි.
- කොටස් වෙළෙඳපොළේ ආයෝජන සඳහා සේවක අර්ථසාධක අරමුදලට (EPF) මුදල් මණ්ඩලයෙන් තහනමක් නැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති කේ.ඩී. රණසිංහ මහතා පවසයි.

- කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත බැංකු සමාගමක් වන කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන CBC Myanmar Microfinance Co., Ltd සමාගමට මියන්මාරය තුළ සිය කටයුතු ඇරඹීම සඳහා මෙහෙයුම් බලපත්‍රය හිමිවෙයි.
පෙබරවාරි 22
- Resus Energy PLC හි බහුතර කොටස් අයිතිය Trydan Partners විසින් අත්පත් කර ගනී.
මාර්තු 02
- කොළඹ කොටස් වෙළඳපොල විසින් සංවිධානය කරන "ඉන්වෙස්ට් ශ්‍රී ලංකා" ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධන සමුළුව සිංගප්පූරුවේ ‘ෆෝ සීසන්ස්’ හෝටලයේදී පැවැත්වේ.

මාර්තු 06
- සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CIFL) සමාගමෙහි සිදුව ඇති විවිධාකාර වංචනික කටයුතු සහ කළමනාකරණ දුර්වලතා හේතු කොටගෙන එහි බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි.
මාර්තු 07
- ජාත්‍යන්තර කාන්තා දින සැමරුම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව හා කොළඹ කොටස් වෙළෙඳපොළ අත්වැල් බැඳ ගනී.

මාර්තු 08
- East West Properties PLC සමාගම, සිය අනුබද්ධ සමාගමක් වන Weligama Hotel Properties Ltd හි තමන් සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීම ට ගිවිසුමකට එළඹෙයි.

මාර්තු 26
- නිසි කලට අතුරු මූල්‍ය වාර්තා සහ වාර්ෂික මූල්‍ය වාර්තා ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ලංකා සිමෙන්ට් පීඑල්සී, පීසී හවුස් පීඑල්සී, පීසී ෆාමා පීඑල්සී, සිලෝන් ඇන්ඩ් ෆොරීන්ග් ට්‍රේඩ්ස් පීඑල්සී, ස්ටෑන්ඩර්ඩ් කැපිටල් පීඑල්සී, ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හා ඇඩම් කැපිටල් පීඑල්සී යන සමාගම්වල කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තහනම් කරයි.
මාර්තු 26
- යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී තමන් සතු පාලිත සමාගමක් වූ TVS ලංකා (පුද්) සමාගම රුපියල් බිලියනයකට විකුණා දමයි.
මාර්තු 28
- තනි දිනක් තුළ සිදුවූ විශාලතම වටිනාකමකින් යුතු කොටස් ගනුදෙනුව වාර්තා කරමින් ජපානයේ Orix Corporation ට අයත්ව තිබුණු ලංකා ඔරික්ස් ලීසිං කම්පැනි (LOLC) පීඑල්සී හි කොටස් හිමිකාරීත්වය , LOLC සමාගමේ උපසභාපති ඉෂාර නානායක්කාර මහතා විසින් මිල දී ගනී. මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 12.82 කි.

අප්‍රේල් 02
- මෙල්ස්ටාකෝප් පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන මෙල්ස්ටා රීගල් ෆිනෑන්ස් ලිමිටඩ් හි සම්පූර්ණ කොටස් අයිතිය Bluestone1 (Pvt) Ltd වෙත රුපියල් බිලියන 2.55 කට අලෙවි කිරීමට තීරණය කෙරේ.
අප්‍රේල් 03
- කොළඹ කොටස් හුවමාරුව, ඉන්දියානු ජාතික කොටස් හුවමාරුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි.

අප්‍රේල් 06
- කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් මිලියන 134 ක් දක්වා පහළට වැටේ.
අප්‍රේල් 16
- කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වසර 4 ක් තුළ අඩුම දෛනික ගනුදෙනු පිරිවැටුම වාර්තා වේ. දෛනික ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 101.94 කි.
අප්‍රේල් 19
- මෑත ඉතිහාසයේ සිදුකරන ලද විශාලතම කොටස් ප්‍රතිමිලදී ගැනීම වාර්තා කරමින්, රු. බිලියන 11 ක කොටස් ජනශක්ති ඉන්ෂුවරන්ස් යළි මිල දී ගනී.
අප්‍රේල් 24
- අවම ප්‍රාග්ධන ප්‍රමාණතා අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීම සහ අවම කොටස්කරුවන්ගේ අරමුදල් අවශ්‍යතා සපුරාලීමට අසමත්වීම යන කරුණු හේතුවෙන් නේෂන් ලංකා ඉක්විටීස් (පුද්) සමාගම, නවාරා සිකියුරිටීස් (පුද්) සමාගම, TKS සිකියුරිටීස් (පුද්) සමාගම හා ක්ලැරිඩ්ජ් ස්ටොක්බ්‍රෝකර්ස් (පුද්) සමාගම යනා තැරැව්කාර සමාගම්වල ගනුදෙනු ක්‍රියාකාරකම් තහනම් කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කරයි.
මැයි 20
- ETI ආයතනය සතු එහි පරිපාලිත හා උප පරිපාලිත සමාගම්වල අයිතිය සහ ආයෝජන දේපල, එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ 75ක මිලකට විකිණීමට මහ බැංකුවේ අනුමැතිය ලැබේ. ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී හි 90% ක කොටස් හිමිකාරීත්වය ETI සතුව පවතී.
මැයි 22
- ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගමක් ඇමරිකානු ඩොලර් බිලියනයක පිරිවැටුම් මට්ටම ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් ඉතිහාස ගතවෙමින් හේලීස් පීඑල්සී, 2018 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 163.24ක පිරිවැටුමක් වාර්තා කළ බව නිවේදනය කරයි. හේලීස් පීඑල්සී හි 51% ක කොටස් අයිතිය දරනු ලබන්නේ මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසිනි.

මැයි 23
- ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී (කැල්ටෙක්ස්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කිෂූ ගෝමස් මහතා එම සමාගමේ සියලු තනතුරින් වහාම ක්‍රියත්මක වන පරිදි ඉල්ලා අස්වෙයි.

මැයි 24
- ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස රනිල් තිස්ස විජේසිංහ මහතා පත් කෙරේ. කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස චන්ද්‍රකුමාර් රාමචන්ද්‍ර, ජයන්ත ප්‍රනාන්දු, අර්ජුන හේරත්, රජීව් අමරසූරිය මහතා සහ මංජුල හිරන්‍ය ද සිල්වා යන මහත්වරුන් පත් කර තිබේ.

ජූනි 12
- සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,348.53 ක් ලෙසින් වාර්තා වේ. මෙය පසුගිය මාස 06 ක කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ අවම අගය වේ.
ජූනි 18
- අඛණ්ඩව 8 වෙනි දිනයටත් සියලු කොටස් මිල දර්ශකය පහළ යන ලදී. දිනය අවසානයේ දී එහි අගය ඒකක 6,310.51 ක් ලෙසින් වාර්තා විය.
ජූනි 19
- ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය හා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව අවබෝධතා ගිවිසුමකට එළඹෙයි. සුරැකුම්පත් අංශයට අදාළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අවදානම් මත පදනම් වූ ප්‍රවේශය පදනම් කර ගත් අධීක්ෂණ සොයා ගැනීම්වලට අදාළ තොරතුරු හුවමාරු කර ගැනීමේ රාමුවක් සැකසීම මෙහි පරමාර්ථය වේ.
ජූනි 29
- 2018 මුල් මාස 06 අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,194.63 ක් ලෙසින් සටහන් වේ. මේ අනුව මුල් මාස 06 තුළ දී කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2.74% කින් කඩා වැටී තිබේ.
ජූලි 02
- කොළඹ කොටස් වෙළෙඳපොළේ බැංකු, මූල්‍ය හා රක්ෂණ කාණ්ඩය යටතේ ලැයිස්තුගත කර තිබෙන සමාගමක් වන ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී හි කොටස් ගනුදෙනු තහනම් කරයි.
- ඒකක 66.29 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ යයි. වසරේ මේ දක්වා කාලය තුළ එක් දිනක දී සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය වැඩිම ඒකක ගණන මෙය වේ.
ජූලි 05
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා EMPOWER පුවරුව හඳුන්වා දෙයි.

ජූලි 06
- සිංගප්පුරුවේ ලියාපදිංචි සමාගමක් වන Blue Summit සහ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි Ben Holdings යන සමාගම් දෙක ඒකාබද්ධව, අර්බුදයට පත් මූල්‍ය සමාගමක් වන ETI ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම මිල දී ගැනීම සඳහා ආයෝජනය කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී හි ප්‍රධාන කොටස්කාර සමාගම මෙයයි.
ජූලි 15
- ලංකා දුම්කොළ සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් කටයුතු කළ දිනේෂ් වීරක්කොඩි මහතා එම තනතුරින් ඉල්ලා අස්වෙයි
ජූලි 17
- සියලු කොටස් මිල දර්ශකය ඒකක 49.26 කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 6,179.88 ලෙසින් වාර්තා වෙයි.
ජූලි 19
- ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා Patrick McCloud පත් කර ඇති බව සමාගම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම්දෙයි.
අගෝස්තු 15
- ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සීහි ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවීමට තීරණය කරයි.
අගෝස්තු 16
- ඇලූමෙක්ස් PLC ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පූර්ණ ස්වයංක‍්‍රීය ඇලූමීනියම් හැඩගැස්වීමේ කම්හල සහ දකුණු ආසියාවේ ප‍්‍රථම සිරස් පවුඩර් ආලේපන පහසුකම විවෘත කරයි.

අගෝස්තු 20
- ඖෂධ නිෂ්පාදන හා අලෙවි කර්මාන්තයේ මෙරට ප්‍රමුඛතම සමාගමක් වන මොරිසන් පීඑල්සී, කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට තීරණය කරයි.
අගෝස්තු 21
- Melsta Health (Pvt) Ltd නමින් නව සමූහ සමාගමක් හරහා සෞඛ්‍ය සේවා කර්මාන්තය වෙත යොමු වීමට තීරණය කර ඇති බව මෙල්ස්ටාකෝප් පීඑල්සී නිවේදනය කරයි. ආරෝග්‍යශාලා කළමානාකරණය රෝග විනිශ්චය මධ්‍යස්ථාන හා සෞඛ්‍ය ආශ්‍රිත වෙනත් සේවා සඳහා යොමුවීම මේ අනුව සිදුවේ.

අගෝස්තු 28
- ශ්‍රී ලංකාවේ සුපිරි විලාසිතා සන්නාමයක් වන Cotton Collection හි සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය මිල දී ගැනීමට සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් අනුබද්ධිත සමාගමක් වන ඔඩෙල් පීඑල්සී කටයුතු කරයි. මේ සඳහා ආයෝජිත මුදල රුපියල් මිලියන 300 කි.

- ශ්‍රී ලංකාවේ දැනට තිබෙන විශාලතම විශ්‍රාමික අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදල (EPF) නැවත වරක් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කරා අවතීර්ණ වීම ඉතා ඉක්මනින් සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

අගෝස්තු 30
- ලැයිස්තුගත රෝහල් සමාගමක් වන සිංහ හොස්පිටල්ස් පීඑල්සීහි ප්‍රාග්ධනය විශාල වශයෙන් ක්ෂය වීමට ලක් වී ඇති බව සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙයි.
අගෝස්තු 31
- 2018 වසරේ අගෝස්තු 31 දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,080.26 ක් ලෙසින් වාර්තා විය. එය වසර ආරම්භයේ සියලු කොටස් මිල දර්ශක අගය වූ ඒකක 6,369.26 හා සැසඳීමේ දී 4.54% ක කඩා වැටීමක් ලෙසින් සටහන් වේ.
- ලංකා සෙරමික් පීඑල්සී හි සභාපතිවරයා හ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ ධම්මික පෙරේරා මහතා, අදාළ තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කරයි.

සැප්තැම්බර් 05
- MTD Walkers PLC හි කොටස් මිල ගණන් දින කිහිපයක් තුළ අසාමාන්‍ය ලෙස උච්ඡාවචනය වීම සම්බන්ධයෙන් සමාගමේ ලේකම්වරිය කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත කරුණු පැහැදිලි කරයි.
සැප්තැම්බර් 13
- ජනශක්ති පීඑල්සී විසින් ඩුනාමිස් කැපිටල් පීඑල්සී කොටස් ප්‍රාග්ධනයෙන් 14% ක ප්‍රමාණයක් මිල දී ගනු ලබයි. ඩුනාමිස් කැපිටල් පීඑල්සී හි කොටසක මිල පෙර දිනයට සාපේක්ෂව 90% කින් ඉහළ යයි.
සැප්තැම්බර් 18
- සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 න් පහළට පැමිණෙයි. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 5,971.21 ක් ලෙසින් වාර්තා වූ අතර 2017 වසරේ මාර්තු 22 දිනෙන් පසු 6,000 න් මෙපිටට සියලු කොටස් මිල දර්ශක අගය පැමිණි පළමු අවස්ථාව මෙයයි.
සැප්තැම්බර් 21
- මෙල්ස්ටා රීගල් ෆයිනෑන්ස් සමාගමේ අයිතිය Melstacorp PLC සමාගමෙන් Bluestone1 පුද්ගලික සමාගම අතට පත්වීමෙන් පසුව Fintrex Finance Limited නමින් නව මූල්‍ය සමාගමක් අරඹයි.

ඔක්තෝබර් 01
- 2018 වසරේ මුල් මාස 09 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාම 7.96% ක් දක්වා ඉහළ යයි.
- මෙරට ලැයිස්තුගත විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වශයෙන් ආචාර්ය රාධිකා කුමාරස්වාමි පත්කරයි.

ඔක්තෝබර් 02
- සම්පත් බැංකුව විසින් සිය බාසල් III ප්‍රාග්ධන අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් නිකුත් කිරීමට සූදානම් වූ එක්සත් ජනපද ඩොලර් මුදල් ඒකකයෙන් නම් කරන ලද ණයකර නිකුතුව අත්හිටුවීමට පියවර ගනී.
ඔක්තෝබර් 08
- අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සමාරම්භයට එක්වෙයි.

ඔක්තෝබර් 15
- සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි තවත් කොටස් මිලියන 35.56 ක් මිල දී ගැනීමට හේලීස් සමූහය පියවර ගනී. මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රු. 1,671,455,50.00 කි.
- දිගින් දිගටම කොටස් වෙළෙඳපොළ පහළ යමින් තිබෙන මෙම වකවානුවේ දී රුපියල් බිලියන 2 ක සමාගම් කොටස් තමා විසින් මිල දී ගනු ලැබූ බව මෙරට කොටස් වෙළෙඳපොළේ ප්‍රමුඛතම ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසයි.

ඔක්තෝබර් 29
- පසුගිය වසර 5 ක කොටස් වෙළෙඳපොළ ඉතිහාසය තුළ තනි දිනක් තුළ දී සියලු කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම වර්ධනය වාර්තා වෙයි. මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 112.22 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය සටහන් වූයේ ඒකක 5,944.18 ක් ලෙසිනි. මෙය පෙර දිනයට වඩා 1.92% ක ඉහළ යාමකි. 2013 සැප්තැම්බර් මාසයෙන් පසු තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය වැඩිම ප්‍රතිශතාත්මක අගය ලෙසින් මෙය වාර්තා වේ. ඔක්තෝබර් 26 දින රටේ සිදුවූ දේශපාලන බලපෙරළියෙන් පසු එළඹි පළමු ගනුදෙනු දිනයේ දීම කොටස් වෙළෙඳපොළ මෙයාකාරයෙන් ඉහළ යාම සුවිශේෂී වේ.
නොවැම්බර් 01
- සියලු කොටස් මිල දර්ශකය ඒකක 160.66 කින් ඉහළ යයි. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය සටහන් වූයේ ඒකක 6,114.13 ක් ලෙසිනි.
- කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ S&P SL20 දර්ශකයේ විශාලම වර්ධනය වාර්තා විය. මෙහිදී දිනය අවසානයේ දී S&P SL20 දර්ශකය ඒකක 3,221.07 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට වඩා ඒකක 99 ක ඉහළ යාමක් වේ.එසේම මෙය 4.44% ක ඉහළ යාමකි. ප්‍රතිශතාත්මකව ගත් කල මෙය, මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ S&P SL20 දර්ශකයේ සිදුවූවිශාලතම වැඩිවීමයි.
- 2018 ඔක්තෝබර් 29 සිට නොවැම්බර් 01 දක්වා කාලපරිච්ඡේදය තුළ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17 ක වර්ධනයක් වර්තා කරයි. මේ දින 4 තුළ සියලු කොටස් මිල දර්ශකය 4.83% කින් ඉහළ ගොස් තිබේ.
නොවැම්බර් 02
- 2018 ඔක්තෝබර් 29 සිට නොවැම්බර් 02 දක්වා සතිය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් රුපියල් බිලියන 86 ක ශුද්ධ විදේශ ගලා යාමක් වාර්තා වේ.
- මෙරට විශාලතම පෞද්ගලික රෝහල් ජාලය වන ආසිරි රෝහල් සමූහය විසින්, හේමාස් සදර්න් රෝහලේ පූර්ණ හිමිකාරීත්වය අත්පත් කර ගෙන තිබේ. මේ සඳහා ආයෝජිත මුදල රුපියල් මිලියන 450 කි.

නොවැම්බර් 07
- සියලු කොටස් මිල දර්ශකය ඒකක 74.88 කින් පහළ යයි. දිනය අවසානයේ දී එය ඒකක 6,000 සීමාවෙන් පහළට පැමිණි අතර එහි අගය ඒකක 5,987.21 ක් ලෙසින් සටහන්ව තිබුණි.
නොවැම්බර් 09
- අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම ඇතුළු ආයතන 42 ක් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට යටතට පවරයි.
- සතියක් තුළ දී විදෙස් ආයෝජකයින් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කර ගෙන ඇති ආයෝජනවල ශුද්ධ වටිනාකමරුපියල් බිලියන92 ක් ලෙසින් වාර්තා වේ.
නොවැම්බර් 13
- ඔඩෙල් සමාගමේ රුපියල් බිලියන 35 ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වෙයි.
නොවැම්බර් 26
- 2012 වසරේ දී සිදු වූ ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වූ ‘ද ෆිනෑන්ස්‘ සමාගමේ කොටස් මිල දී ගැනීමේ ආන්දෝලනාත්මක ගනුදෙනුව සම්බන්ධයෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා අධිකරණය හමුවේ වැරදිකරු වෙයි.

- ලංකා බැංකුවට නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 5 දෙනෙකු පත් කෙරේ.
නොවැම්බර් 29
- 2018 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී, අනිලානා හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පීඑල්සී, බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී, සිලෝන් ඇන්ඩ් ෆොරීන් ට්‍රේඩ්ස් පීඑල්සී, ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් පීඑල්සී, ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසිං කම්පැනි පීඑල්සී, ඇඩම් කැපිටල් පීඑල්සී හා රේඩියන්ට් ජෙම්ස් ඉන්ටර්නැෂනල් පීඑල්සී සමාගම්වල කොටස් ගනුදෙනු 2018 දෙසැම්බර් 10 වන දින සිට අත්හිටුවීමට පියවර ගන්නා බව, කොළඹ කොටස් වෙළෙඳපොළ කියයි.
- නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් පීඑල්සී හි සභාපති තනතුරින් ක්‍රිෂාන් බාලේන්ද්‍ර විශ්‍රාම ගනියි. නව සභාපති ගිහාන් කුරේ වැඩ අරඹයි.

දෙසැම්බර් 10
- දෙසැම්බර් 07 දින වනතුරුත් වාර්ෂික මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී, සිලෝන් ඇන්ඩ් ෆොරීන් ට්‍රේඩ්ස් පීඑල්සී, ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසිං කම්පැනි පීඑල්සී, ඇඩම් කැපිටල් පීඑල්සී හා රේඩියන්ට් ජෙම්ස් ඉන්ටර්නැෂනල් පීඑල්සී සමාගම්වල කොටස් ගනුදෙනු අත්හිටුවයි.
දෙසැම්බර් 11
- ලේක් හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් පීඑල්සී හි කොටස්කරුවෙකු වන රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වෙයි.

දෙසැම්බර් 19
- LeapFrog Investments සමාගම විසින් සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී හා රුපියල් බිලියන 2 ක් ඉක්මවූ ආයෝජනයක් කරයි.
දෙසැම්බර් 20
- ලංකා බැංකුවේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වෙයි.
දෙසැම්බර් 31
- ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සභාපති සුසන්ත රත්නායක මහතා විශ්‍රාම යයි.

වසර ආරම්භයේ දී ඒකක 6,598.73 ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය දෙසැම්බර් 31 දින ගනුදෙනු අවසානයේ දී ඒකක 6,052.37 ක් ලෙසින් සටහන් වෙයි. මෙය වසර තුළ සියලු කොටස් මිල දර්ශකය 4.98% ක පහළ යාමකි.