රාජ්‍ය ව්‍යවසායන්ගේ දුර්වල මූල්‍ය කාර්ය සාධනය ණය වර්ධනයට හේතුවෙලා. දේශීය මුදල් වෙළෙඳපොළේ අඛණ්ඩ ද්‍රවශීලතා හිඟයක්

    February, 25, 2019

    2018 නොවැම්බර් මාසයේ දී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 6.00 ක් දක්වා ප්‍රතිශතාංක 150 කින් අඩු කරමින් දේශීය මුදල් වෙළෙඳපොළ සඳහා ද්‍රවශීලතා සපයනු ලැබූවද, ද්‍රවශීලතා හිඟ තත්ත්වය තවදුරටත් අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතිණ.

    හිග ද්‍රවශීලතා වාතාවරණය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව සුදුසු පරිදි විවට වෙළෙඳපොළ කටයුතු අඛණ්ඩව සිදුකළ අතර, කෙටි කාලීන මුදල් වෙළෙඳපොළ පොලී අනුපාතික ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝවේ ඉහළ සීමාව ආසන්නයෙහි පවත්වාගෙන ගනු ලැබිණ. අනෙකුත් වෙ‍ළෙඳපොළ පොලී අනුපාතික නාමික සහ මූර්ත වශයෙන් තවදුරටත් ඉහළ මට්ටම්වල පැවතිණි.

    හිඟ වෙළෙඳපොළ ද්‍රවශීලතා තත්ත්වය සහ ඉහළ පොලී අනුපාතික පැවතිය ද, 2018 වසර තුළ දී රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයම සඳහා සපයන ලද ණයෙහි වර්ධනය අපේක්ෂිත මට්ටම ඉක්මවා ගියේය.

    ආනයන සීමා කිරීම සඳහා ගනු ලැබූ ප්‍රතිපත්තිවලට පෞද්ගලික අංශයේ ණය ලබාගන්නන් විසින් කෙටිකාලීනව ප්‍රතිචාර දැක්වීම මෙන්ම, ඒ ආශ්‍රිත අපේක්ෂා මේ සඳහා කිසියම් දුරකට හේතු විය. රජය බොහෝ දුරට දේශීය මූල්‍යයන මූලාශ්‍ර වෙත යොමු වූ අතර, රාජ්‍ය ව්‍යවසායන්ගේ දුර්වල මූල්‍ය කාර්ය සාධනය ද ණය වර්ධනය සඳහා දායක විය.

    කෙසේ වෙතත්, බැංකු අංශයේ ශුද්ධ විදේශ වත්කම් පහළ යෑම හේතු කොටගෙන, 2018 වසර අවසානයේ දී පුළුල් මුදල් සැපයුමෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය අපෙක්ෂිත පරිදි මන්දගාමී විය.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2019 පළමු මුදල් ප්‍රතිපත්ති විවරණයෙහි මේ බව සඳහන් වේ.