බහු ජාතික සමාගම් ආකර්ෂණය කරගැනීමට මලික්ගෙන් යෝජනාවක්

    February, 28, 2019

    විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික කර්මාන්තය ගෝලීය අගය එකතු කිරීමේ සැපයුම් ජාලයට අවතීර්ණ වෙමින් පවතින අතර, ආර්ථික සහයෝගීතා හා සංවර්ධන සංවිධානයේ නිෂ්පාදන කර්මාන්ත වර්ගීකරණයට අනුව මෙරට ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් යන්ත්‍රෝපකරණ කර්මාන්ත ක්ෂේත්‍රය මධ්‍යම - ඉහළ තාක්ෂණික හා ඉහළ තාක්ෂණික ඝනයට අයත් වේ.

    ඒ අනුව රථවාහන, විදුලි සංදේශය, පරිභෝජ්‍ය ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, කර්මාන්ත ස්වයංක්‍රීයකරණය, අන්තර්ජාල උපාංග නිෂ්පාදනය හා වෙනත් විවිධ අංශවල උපාංග නිෂ්පාදනය මීට අයත් වේ. මෙම ක්ෂේත්‍රයේ මෙරට කර්මාන්තකරුවන් ISO සහතිකය ලැබ අවශ්‍ය කම්කරු නීති රීති හා රෙගුලාසීන්ට යටත්ව කටයුතු කරනු ලබයි. ‍

    මෙරට පර්යේෂණ හා සංවර්ධන මූලාකෘති තුළ සිටින ආරම්භක සමාගම් නවෝත්පාදන හා නව නිර්මාණ බිහි කිරීමේ නිරතව සිටින අතර, ඒ සදහා මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් විශාල සමාගම් සමඟ ඒකාබද්ධ වීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙවැනි ව්‍යාපාර ආයතන බහු ජාතික සමාගම් සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට පහසුකම් සැලසීම සඳහා බහු ජාතික සමාගම් ආකර්ෂණය කරගැනීමට කටයුතු කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.