February, 28, 2019
ETI ආයතනයේ වත්කම් අලෙවි කිරීමේ ගනුදෙනු සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 26 දින ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජාතික ආර්ථික සභාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය වූ බව ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසයි. මේ සම්බන්ධයෙන් ජාතික ආර්ථික සභාව පහත නිරීක්ෂණ ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවක් ස්ථාපිතව තිබිය දී 2011 වසරේ පමණ සිට ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණ දී සිටි ETI ආයතනය සම්බන්ධයෙන් නිශ්චිත තීරණවලට එළඹීමට 2017 වසර දක්වා වසර 6 ක පමණ කාලයක් ගත වී අතැ බව නිරීක්ෂණය වේ. මෙවැනි කල්ගතවීම් හේතුවෙන් මූල්‍ය ගනුදෙනු සම්බන්ධ ඉතා සංවේදී ගැටළු වඩාත් උග්‍ර අතට හැරීම වැළැක්විය නොහැකි වේ.
Shri Krishna Investments (Pvt) Ltd සහ Laugfs Holdings Ltd යන ශ්‍රී ලාංකික සමාගම් දෙක සිංගප්පූරුවේ ලියාපදිංචි බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුදැනුම ඇතිව ETI ආයතනය හා ආශ්‍රිත සමාගම්වල වත්කම් මිල දී ගැනීම සඳහා වරින් වර උනන්දුවක් දක්වා ඇත. නමුත් 2018 මාර්තු මස දී බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට වත්කම් විකිණීමට තීරණය කළ ද මේ පිළිබඳ උනන්දුවක් දැක් වූ දේශීය ආයතන සඳහා ETI ආයතනයේ වත්කම් මිල දී ගැනීම සඳහා පාරදෘශ්‍ය සහ සමාන අවස්ථාවක් ලැබුණේ ද යන්න පැහැදිලි කිරීම අවශ්‍ය වේ.
මුල දී මිල දී ගැනීමට එකඟ වූ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් සමාගම මිල දී නොගැනීමට තීරණය වූ පසුබිමත්, ඒ වෙනුවෙන් ඇ.ඩොලර් මිලියන 5 ක ප්‍රමාණයක් අඩු කිරීමට පදනම් වූ වත්කම් තක්සේරුවත් තහවුරු කර ගැනීමට තරම් ප්‍රමාණවත් තොරතුරු නොමැත.
කෙසේ වෙතත් අවසානයේ දී ආයෝජකයා විසින් එකඟ වූ ඇ.ඩො. මිලියන 70 න් මේ දක්වා ගෙවා ඇත්තේ ඇ.ඩො. මිලියන 54 ක් පමණි. ඉතිරි ඇ.ඩො. මිලියන 16 මේ දක්වා ගෙවා නැති අතර එය කවර කාල වකවානුවක දී ගෙවයි ද යන්න පිළිබඳව නිශ්චිතතාවක් නොමැත.
ETI ආයතනයේ වත්කම් විකිණීමේ ගනුදෙනුව පිළිබඳවත්, ඊට සම්බන්ධ වූ ආයෝජක සමාගම්වල අයිතිකාරත්වය සහ ගනුදෙනුව සඳහා ලැබුණු මුදල්වල ප්‍රභවයන් පිළිබඳවත් සවිස්තරාත්මක වාර්තාවක් අවශ්‍ය බව ජාතික ආර්ථික සභාව අවධාරණය කරයි.
ඒ වගේම ETI සමාගමේ පරිපාලිත සමාගම් හා ආයෝජන වත්කම් විකිණීමෙන් ලැබිය යුතු ඉතිරි මුදල් ලබාගැනීම සහ ETI ආයතනය වෙත ආයෝජකයෙකු ආකර්ෂණය කොට, තැන්පත්කරුවන්ට මුදල් පියවා එම ආයතනය මූල්‍ය ස්ථාවරත්වයකට පත් කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් හා කාලවකවානු නිර්ණය කර ගැනීම ද ඉතා අත්‍යාවශ්‍ය බව ජාතික ආර්ථික සභාව අවධාරණය කරයි.
Video Story