March, 1, 2019
කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL 20 දර්ශකයේ මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ පහළ ගිය වැඩිම ඒකක ගණන අද (01) දින වාර්තා විය. මේ අනුව අද දිනය තුළ දී S&P SL 20 දර්ශකය ඒකක 110.87 කින් පහළ ගිය අතර එය 2014 ඔක්තෝබර් 13 දින වාර්තා වූ ඒකක 95.47 ක පහළ යාමෙන් පසු තනි දිනක් තුළ වාර්තා වූ වැඩිම කඩා වැටීම ලෙසින් සටහන් වේ. පෙර දිනයට සාපේක්ෂ S&P SL 20 දර්ශකය අද දින -3.72% කින් පහළ යන ලදී.
මේ අතර අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ද ඒකක 61.98 ක පහළ යාමක් වාර්තා කළ අතර ඒ අනුව දිනය අවසානයේ දී එහි අගය ඒකක 5,754.31 ක් ලෙසින් වාර්තා විය.මෙය පසුගිය වසර 5 ඇතුළත සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ අවම අගය ලෙසින් වාර්තා වේ.
අද දින S&P SL 20 දර්ශකය ගණනය කිරීමට යොදා ගන්නා සමාගම්වලින් කොටස් මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ සමාගම් දෙකක පමණි. පහත දැක්වෙන්නේ ඒ පිළිබඳ සටහනකි.

කොටස් වෙළෙඳපොළේ අද දින මෙලෙස විශාල පහළ යාමක් වාර්තා වීමට ප්‍රධාන වශයෙන් හේතුවූයේ සම්පත් බැංකු සමාගමේ කොටස් මිල දැවැන්ත ලෙස පහළ යාමයි. දිනය තුළ දී සම්පත් බැංකුවේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටසක මිල රු. 36.20 කින් පහළ ගිය අතර එහි අවසන් ගනුදෙනු මිල රු. 195.70 ක් ලෙසින් සටහන් විය. මෙර පෙර දිනයට වඩා 15.61% ක කඩා වැටීමකි.
සම්පත් බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද හිමිකම් නිකුතුව මේ සඳහා හේතු වූ බව කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.
මේ තත්ත්වය තුළ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත බැංකු සමාගම්වලින් යූනියන් බැංකුව, සෙලාන් බැංකුව හා අමානා බැංකුව යන සමාගම් හැර සෙසු සියලු බැංකු සමාගම්වල කොටස් මිල ගණන් අද දිනයේ දී පහළ යන ලදී.

Video Story