මත්තල, රත්මලාන ගුවන්තොටුපලවලින් ගුවන් යානා සඳහා සහන මිලට ඉන්ධන

    February, 28, 2020

    මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි අන්තර්ජාතික නිත්‍ය කාලසටහන්ගත ගුවන් ගමන් මෙහෙයුම් නැවත ආරම්භ කිරීම සහ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි කලාපීය මෙහෙයුම් ආරම්භ කිරීමේ අරමුණින් එම ගුවන්තොටුපොළවල් ප්‍රවර්ධනය කිරීම පිණිස සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ පහත යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

    මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ
    * ඇමරිකානු ඩොලර් 60ක් වන ගුවන්තොටුපොළ අපගමන බද්ද, මෙම ගුවන්තොටුපොළ තුළ අයකිරීම වසර 02ක කාලයක් සඳහා සම්පූර්ණයෙන් අත්හැරීම.
    * මෙම ගුවන්තොටුපොළෙන් පිටවන සංක්‍රමණික සේවකයන් සඳහා වන ගාස්තු සඳහා වට්ටමක් ලබාදීම.
    * එම ගුවන්තොටුපොළේ බිම් මෙහෙවර ගාස්තු සඳහා වට්ටම් අනුපාතයක් ලබාදීම.
    * සහනදායී මිලකට ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම.
    * ප්‍රවර්ධන දිරිගැන්වීමක් ලෙස වසරක කාලයක් සඳහා උපලේඛනගත ජාත්‍යන්තර ගුවන් සමාගම්වල ගොඩබෑමේ සහ ගුවන් යානා නතර කර තැබීමේ ගාස්තු අත්හැර දැමීම.

    කොළඹ, රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ
    * වසරක කාලසීමාවක් සඳහා ඇ‍ෙමරිකානු ඩොලර් 60ක් වන ගුවන්තොටුපොළ අපගමන බද්දෙන් 50%ක් පමණක් අය කිරීම.
    * සහනදායී මිලකට ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම.
    * ප්‍රවර්ධන දිරිගැන්වීමක් ලෙස වසරක කාලයක් සඳහා උපලේඛනගත ජාත්‍යන්තර ගුවන් සමාගම්වල ගොඩබෑමේ සහ ගුවන් යානා නතර කර තැබීමේ ගාස්තු අත්හැර දැමීම.