නිල යාවත්කාලීන කිරීම: Hirdaramani සමූහයේ කාර්ය මණ්ඩලය අතරින් COVID-19 ආසාදිත පුද්ගලයෙකු හමුවීම පිළිබඳව

    October, 20, 2020

    2020 ඔක්තෝබර් 20

    COVID-19 ආසාදිත කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හඳුනාගැනීම සම්බන්ධයෙන්, 2020 ඔක්තෝබර් 18 දින නිකුත් කරන ලද නිල නිවේදනය හා බැඳේ. මේ වනවිට අදාළ කාර්ය මණ්ඩල සාමාජිකයා සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවත්, එම පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර බවත් Hirdaramani සමූහ ව්‍යාපාරයේ කළමනාකාරීත්වය තහවුරු කරයි.

    කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් සිදුකරන ලද පරීක්ෂණ වලින් අදාළ ආසාදිතයා හඳුනා ගැනීමෙන් අනතුරුව, එම ආසාදිතයා සමීව ඇසුරු කළ 250 කට අධික පිරිසක් 2020 ඔක්තෝබර් 18 දින පරීක්ෂාවට ලක්කරන ලදි. මේ අතරින් කිසිදු පුද්ගලයෙකුට COVID-19 වැළඳී නොමැති බව එම පරීක්ෂණ මගින් තහවුරු විය.

    දිවුලපිටිය ප්‍රදේශයේ විවාහ මංගලෝත්සවයකට සහභාගී වූ බව කියන මෙම ආසාදිත පුද්ගලයා හඳුනා ගැනීම, එම පුද්ගලයා ඇසුරු කළ පුද්ගලයන් හඳුනා ගැනීම සහ ඔවුන් සඳහා PCR පරීක්ෂණ සිදුකිරීම, කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ සමීප අධීක්ෂණය යටතේ සිදුකෙරිණි.

    ඉදිරියේදීත් අපගේ සියලුම කර්මාන්තශාලා තුළ වෛරසය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා අපි මේ වනවිට රජය සහ මහජන සෞඛ්‍ය බලධාරීන් සමග සමීපව කටයුතු කරමින් සිටින්නෙමු.

    එමෙන්ම, රජය හා මහජන සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කර ඇති සියලුම මාර්ගෝපදේශ, විධිවිධාන හා ක්‍රියාපටිපාටි වලට අනුකූලව කටයුතු කිරීමට Hirdaramani සමූහ ව්‍යාපාරය දිගින් දිගටම පියවර ගන්නා බවද මෙහිදී අවධාරණය කිරීමට කැමැත්තෙමු.

    අපගේ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යය, සුරක්ෂිතතාව හා ගෞරවය කෙරෙහි කවදත් අපගේ ප්‍රමුඛතම අවධානය යොමු වී ඇති අතර, ආසාදිත පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට ගරු කරන මෙන් සියලුම දෙනාගෙන් කරුණාවෙන් යුතුව ඉල්ලා සිටිනු ලැබේ.

    මෙම වසංගත රෝගය පැතිරීම අවම කරමින් සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා, ඔහුගේ කාර්ය මණ්ඩලය සහ අනෙකුත් බලධාරීන් විසින් අඛණ්ඩව දක්වනු ලබන දායකත්වය වෙනුවෙන් ඔවුන්ට අපගේ කෘතඥතාව මෙසේ පළකර සිටිමු.

    - Hirdaramani කළමනාකාරීත්වය