පාර්ලිමේන්තුවේ වී ගබඩා කරන්නැයි කළ ඉල්ලීමට අගමැතිගෙන් උත්තර

    September, 3, 2015

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වී ගබඩා කිරීම සඳහා යොදාගැනීම අපරාධයක් බවත් එවැන්නක් කරනවා නම් පාර්ලිමේන්තුව රැස් නොවන දිනයන්හි වී ගබඩා කිරීම සඳහා පාර්ලිමේන්තුවද යොදා ගන්නා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද උදෑසන පාර්ලිමේන්තුවේදී පැවසීය.

    මෙයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ මත්තල ගුවන් තොටුපොළ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ඉදිරියේදී ලබාදීමට සූදානම් බවයි.

    අද උදෑසන පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ නිසි කලට වැසි ලැබෙනවා නම් මෙරට සෑම විටම වී අතිරික්තයක් ඇති වන බවත් ඒවා නිසි පරිදි ගබඩා කර කලට වේලාවට වෙළඳ පොළට නිකුත් කිරීම ඉතාමත් වැදගත් කාර්යක් බවයි.

    ගබඩාවල වී බොහෝ කාලයක් රඳවා නොගෙන ඒවා වෙළඳ පොළට නිකුත් කරන ක්‍රමවේදයක් ආරම්භ කළ යුතු බවත් එය සිදුකළ යුත්තේ පාරිභෝගිකයා සහ වෙළෙඳුන් යන දෙපාර්ශවයටම සාධාරණ ආකාරයට බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    මෙරට වී ගොවිතැන නගා සිටුවීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමට වත්මන් රජය සූදානම් බවත් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය වෙනම අධිකාරියක් පිහිටුවන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අනාවරණය කළේය.

    මෙම සියළුම සැලසුම් ක්‍රියාත්මක කිරීමට වසර 02 ක් හෝ 03 ක් ගතවනු ඇති බවත් මේ වනවිට වී අලෙවි මණ්ඩලය හරහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    රජය විසින් ගොවීන්ගෙන් වී මිලදී ගත්තද ඒවා නිසි පරිදි අලෙවි කිරීමට හෝ අපනයනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට ලංකාව තවමත් අපොහොසත් වී සිටී.

    රජයට සමස්ත වී අස්වැන්නෙන් මිලදී ගත හැක්කේ ඉතාමත් සීමිත ප්‍රමාණයක් වන අතර වැඩිම කොටස මිලදීගන්නේ පුද්ගලික අංශය විසිනි.

    ඓතිහාසික වැදගත් කමක් තිබෙන වී ගොවිතැන තුළින් රට සහලින් ස්වයංපෝෂිත කරන අතරම සහල් අපනයන කිරීම දක්වා මෙම කර්මාන්තය දියුණු කිරීම වත්මන් රජය හමුවේ තිබෙන අභියෝගයකි.