BOI අනුමත සමාගම්වලට ලැබුණු සෘජු විදෙස් ආයෝජන 42%කින් අඩුවෙයි

    May, 10, 2021

    වසංගත තත්ත්වය නිසා දේශීය මෙන්ම ගෝලීය වශයෙන් ද ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වීමට ගතවන කාලය පිළිබඳව පැවති අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් පවත්නා මිල අනුව ආයෝජන වියදම 2019 වසරේ දී වාර්තා කළ සියයට 5.5ක පහත වැටීමට සාපේක්ෂව 2020 වසරේ දී සියයට 6.2කින් තවදුරටත් පහත වැටුණි. මේ කෙරෙහි, 2019 වසරේ දී සියයට 8.1කින් වර්ධනය වූ දළ දේශීය ස්ථාවර ප‍්‍රාග්ධන සම්පාදනය 2020 වසරේ දී සියයට 6.4කින් සැලකිය යුතු ලෙස පහත වැටීම ප‍්‍රධාන වශයෙන් හේතු විය. ඒ අනුව, 2019 වසරේ දී ධනාත්මක දායකත්වයන් දක්වන ලද ඉදිකිරීම්, ප‍්‍රවාහන උපකරණ සහ යන්ත‍්‍රසූත්‍්‍ර වැනි ප‍්‍රධාන දළ දේශීය ස්ථාවර ප‍්‍රාග්ධන සම්පාදක කාණ්ඩවල වර්ධනය 2020 වසරේ දී පහත වැටුණි.

    මෙහිදී, ප‍්‍රධානතම ආයෝජන වියදම් කාණ්ඩය වන ඉදිකිරීම් කටයුතු, වසංගත තත්ත්වය ආශ‍්‍රිතව ඇති වූ විවිධ අවහිරතා හේතුවෙන් දැඩි පසුබෑමකට ලක් වූ අතර එය ආයෝජන කටයුතුවල පහළ යෑම කෙරෙහි සැලකිය යුතු ලෙස බලපාන ලදී. කෙසේ වුවද, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපකරණ සහ බුද්ධිමය දේපළ සඳහා වූ ආයෝජන වියදම්වල පෙර වසරට සාපේක්ෂව වර්ධනයක් දක්නට ලැබුණි. තවද, වසර තුළ දී තොග/පරිලේඛන වෙනස්වීම්හි අඩු වීමක් වාර්තා විය.

    ආයෝජන මණ්ඩලය (BOI) යටතේ ඇති සමාගම්වලට ලැබුණු, ණය ද ඇතුළත්, විදේශීය ඍජු ආයෝජන ප‍්‍රමාණය, 2019 වසරේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 1,188.7 හා සැසඳීමේ දී 2020 වසරේ දී එ.ජ. ඩොලර් මිලියන 687.0ක් දක්වා සියයට 42.2කින් අඩු විය. විදේශීය ආයෝජනවල අඩු වීම සෑම අංශයකම දක්නට ලැබුණි. මේ අතර, 1978 අංක 4 දරන ආයෝජන මණ්ඩල පනතේ 16 සහ 17 වගන්ති යටතේ, 2020 වසරේ දී ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරන ලද ව්‍යාපෘතිවල මුළු වටිනාකම, රුපියල් බිලියන 406.3ක් වූ අතර, එය 2019 වසරට සාපේක්ෂව සියයට 91.4ක අඩුවීමකි. ආයෝජන මණ්ඩල පනතේ 16 සහ 17 වගන්ති යටතේ වාණිජ මෙහෙයුම් ආරම්භ කළ ව්‍යාපෘතිවල ඇස්තමේන්තුගත ආයෝජන වටිනාකම, පිළිවෙළින්, රුපියල් බිලියන 1,547.0ක් සහ රුපියල් බිලියන 34.5ක් වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 13.0ක සමස්ත අඩු වීමකි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාවෙහි මේ බව සඳහන් වේ.