DHL Express මෙරට 35 වසර සපුරයි

    November, 6, 2015

    ලොව ප්‍රමුඛතම ලොජිස්ටික්ස් සමාගමක්වන DHL Express සමාගම, ශ්‍රී ලංකාව තුළ සිය නාමය සනිටුහන් කර මේ වසරේදී 35 වසරක් සපිරෙයි. 1980 වසරේදී මෙරට පළමු ලොජිස්ටික්ස් සමාගම ලෙස සේවා කටයුතු ආරම්භ කළ DHL Express සමාගම, මෙරට විවිධ වූ කර්මාන්තවල භාණ්ඩ ප්‍රවාහන සහ ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කරමින් වෙළඳපල ජය ගැනීමට සමත්ව සිටී. ශ්‍රී ලංකාවේ රැකියාවේ නිරත වීමට සුදුසුම සමාගම් 20 අතරට එක් වීමට හැකි වීම ඒ බැව් තවදුරටත් තහවුරු කරයි.

    ආරම්භයේ පටන්ම දේශීය ලොජිස්ටික්ස් ක්ෂේත්‍රයේ වෙනස්වන අවශ්‍යතාවන්ට සාර්ථකව මුහුණ දුන් DHL Express සමාගම, 2007 වසරේදී නවීන කාර්යාල සංකීර්ණයක් ද, ඉන් පසු වසරේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් පර්යන්තයේ සේවා පහසුකමක් ද ස්ථාපනය කිරීමට කටයුතු කළේය. පැය 24 පුරාම ක්‍රියාත්මක පාරිභෝගික සේවාව අත්විඳීමටත්, DHL සමාගම වෙනුවෙන්ම කැප වූ ගබඩා සංකීර්ණයේ උසස් සේවාව ලබා ගැනීමටත් DHL සේවාව සමග අත්වැල් බැඳ ගත් පාරිභෝගිකයන් හට අවස්ථාව හිමි වේ. එක්සත් රාජධානියට හෝ ඇමරිකා එක්සත් ජනපදයට දිනක් තුළ භාණ්ඩ යොමු කිරීමේ හැකියාව ද DHL Express සතු විශිෂ්ට පාරිභෝගික සේවාවේ සුවිශේෂී ලක්ෂණයකි.

    "ශ්‍රී ලංකාව තුළ 35 වසරක ඉතිහාසයකට හිමිකම් කීමට හැකි වීම පිළිබඳ අප ඉතාමත් සතුටු වනවා. අපගේ පාරිභෝගිකයන් සහ ඔවුන්ගේ අවශ්‍යතාවන් හඳුනා ගැනීමට අප දක්වන කැපවීම අපගේ සමස්ත සාර්ථකත්වයේ රහසයි. පාරිභෝගිකයන් හට උපරිම සේවාවක් ලබා දීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන අපගේ කාර්යමණ්ඩල සේවකයන් ද අපගේ සාර්ථකත්වයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව සඳහන් කළ යුතුයි." DHL Express ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙරී ෂූ මහතා සඳහන් කළේය.

    "පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලාංකේය භූමිය තුළ අප ආ ගමන්මග පිළිබඳ අප අතිශයින් තෘප්තිමත්. අපගේ පාරිභෝගිකයන් සමග දීර්ඝකාලීන සබඳතා ඇති කර ගන්නා අතරතුර විවිධ ප්‍රජා සත්කාරක වැඩසටහන් තුළින් මෙරට ජනතාවට සේවය කිරීමට ද අප කටයුතු කරනවා." DHL Express අග්නිදිග සහ දකුණු ආසියානු කලාපීය ජ්‍යෙෂ්ඨ උප සභාපතිනී යස්මින් අලදාඩ් ඛාන් මහත්මිය සිය අදහස් පළ කළාය.

    Deutsche Post DHL සමූහයේ අවියෝජනීය සාධකයක්වන ආයතනික සමාජ වගකීම් කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කළ DHL සමාගම, සමූහයේ GoGreen, GoTeach සහ GoHelp ව්‍යාපාරික සංකල්ප තුළින් මෙරට තුළ ප්‍රජා සත්කාරක ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇත.

    GoHelp වැඩසටහන යටතේ, ශ්‍රී ලංකාවේ අභියෝගාත්මක කාල වකවානුවලදී සිය සහයෝගය ලබා දීමට DHL සමාගම කටයුතු කර ඇත. 2004 වසරේදී මෙරට මුහුණ දුන් සුනාමි ව්‍යයසනයේදී ආපදාවට ලක් වූ ජනතාවට කඩිනමින් සහනාධාර සහ මානුෂීය ආධාර ලබා දීමට ද DHL සමාගමේ ආපදා සහන කණ්ඩායම කඩිනමින් පියවර ගත්තේය. රටක ව්‍යයසන, හදිසි අවස්ථාවන් වෙනුවෙන් එරට ගුවන් තොටුපල සූදානම් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමග සම්බන්ධ වෙමින් GARD වැඩමුළු පැවැත්වීමට ද DHL සමාගම කටයුතු කළේය.

    සිය GoGreen වැඩසටහනේ එක් අංගයක් ලෙස මෙරට පළමු වරට කාබන්වලින් තොර පරිසර හිතකාමී භාණ්ඩ ප්‍රවාහන ක්‍රමවේදයක් හඳුන්වා දීමේ පුරෝගාමියා ලෙස ද DHL සමාගම ඉතිහාසයට එක් වෙයි.

    ගෝලීය ස්වේච්ඡා දිනය නිමිත්තෙන් මෙරට ජනතාවගේ සුබසාධනය උදෙසා DHL Sri Lanka සමාගමේ කාර්යමණ්ඩල සේවකයෝ ස්වේච්ඡාවෙන් සහභාගී වූහ. අඩු ආදායම්ලාභී පවුල් සඳහා අරමුදල් රැස් කිරීම සහ ළමා නිවාසයක නවීකරණ කටයුතු මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කෙරිණි.
    ආරම්භයේ පටන්ම නව්‍යකරණය, අසමසම පාරිභෝගික සේවාව සහ පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන ලොජිස්ටික්ස් විසඳුම් තුළින් විශිෂ්ටත්වය කරා ළඟා වූ සමාගමක් ලෙස DHL සමාගම මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයකට හිමිකම් කියයි.

    "ලොජිස්ටික්ස් වෙළඳපල තුළ නායකත්වය සමගින් මෙරට ස්ථාපිත පැරණිතම ලොජිස්ටික්ස් සමාගම ලෙස අප නිරන්තරයෙන් උත්සාහ කරන්නේ පාරිභෝගිකයාට ඉහලම ප්‍රමිතියෙන් යුතු සේවාවක් ලබා දීමටයි. එක්-එක් පාරිභෝගිකයාට ඔබින ලෙස අපගේ සේවාවන් ලබා දෙමින් ජනතාවගේ විශ්වසනීයම ලොජිස්ටික්ස් සේවා සැපයුම්කරු බවට පත් වීම අපගේ අරමුණයි." DHL Express මෙරට ප්‍රධාන කළමනාකාර දිමිත්‍රි පෙරේරා මහතා සඳහන් කළේය.

    විවිධාංගීකරණය වූ කීර්තිමත් සමාගමක්වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම සමග 1992 වසරේදී ඇති කර ගත් ව්‍යාපාරික සබඳතාව තුළින් DHL Express සමාගම මෙරට තුළ වේගවත් වර්ධනයක් අත් කර ගැනීමට සමත් විය. ආයෝජන මණ්ඩලය (BOI) තුළින් වේගයෙන් භාණ්ඩ නිදහස් කර ගැනීම, බාධාවකින් තොර භාණ්ඩ රක්ෂණය සහ තත්ත්ව පාලන මධ්‍යස්ථානයේ (QCC) අධීක්ෂණය යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක භාණ්ඩ සේවාව ආදී සේවා රැසක් DHL Express සමාගම මෙරට ජනතාවට ලබා දෙයි.

    "වසර 35 ක් තුළ අප දිගු ගමනක් පැමිණ සිටිනවා. වර්තමානයවන විට මෙරට වඩාත් ගෞරවාදරයට පාත්‍ර වූ ලොජිස්ටික්ස් සේවා සැපයුම්කරුවෙකු ලෙස ජනතා විශ්වාසය දිනා ගැනීමට අප සමත්ව සිටිනවා. අප මෙතෙක් ආ ගමන්මග පිළිබඳ අප නිහතමානීව ආඩම්බරවන අතර ඉදිරි දශක කිහිපය පුරා ද මෙරට ජනතාවට සේවය සැලසීම අපගේ බලාපොරොත්තුවයි." දිමිත්‍රි පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.