සෙලාන් බැංකුව 21%ක වර්ධනයක් සනිටුහන් කරමින් රුපියල් බිලියන 2.7 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කරයි

    November, 10, 2015

    සෙලාන් බැංකුව, 2015 වර්ෂයේ සැප්තැම්බර් 30 වනදායින් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය සඳහා රුපියල් මිලියන 4,062 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. එහිදී බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 2,730 ක් ලෙසින් වාර්තා වන අතර පසුගිය වර්ෂයේ පළමු මාස 09 හි අදාළ අගය වූ රුපියල් මිලියන 2,253 හා සැසඳීමේ දී එය 21% ක වර්ධනයකි.

    2015 මූල්‍ය වර්ෂයේ තෙවන කාර්තුව තුළ දී වාර්තා වූ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 989 කි. එහි දී පසුගිය වර්ෂයේ සමාලෝචිත කාර්තුව තුළ වාර්තා වූ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 1,041 ක් ලෙසින් සටහන් වී තිබේ.

    එසේම 2015 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් මාස 09 ක කාලය තුළ දී බැංකුවේ ශුද්ධ පොළී ආදායම රුපියල් බිලියන 8.22 සිට රුපියල් බිලියන 8.85 දක්වා 8% කින් වර්ධනය වී තිබේ. තවද මෙම කාලපරිච්ඡේදය තුළ දී බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 13% කින් ඉහළ නැග තිඛෙනුයේ රුපියල් මිලියන 1,648 සිට රුපියල් මිලියන 1,869 දක්වා වර්ධනයක් සනිටුහන් කරමිනි. මෙය පසුගිය වසර ගණනාවක් පුරාවට බැංකුව විසින් අඛණ්ඩ පවත්වා ගෙන ආ සිය කාර්යසාධනයේ ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිය.

    මේ අතර 2015 වර්ෂය තුළ දී සෙලාන් බැංකුවේ තැන්පතු පදනම රුපියල් බිලියන 185.9 සිට රුපියල් බිලියන 199.5 දක්වා වැඩි වී තිබේ. බැංකුව විසින් දිගින් දිගටම දියත් කරනු ලැබූ ජංගම හා ඉතුරුම් තැන්පතු ගිණුම් ප්‍රවර්ධන කරලීමේ වැඩසටහනේ ප්‍රතිඵලයක් වන අතර 2014 දෙසැම්බර් මාසය වන විට 38% ක්වූ බැංකුවේ අඩු වියදම් තැන්පතු පදනම 2015 සැප්තැම්බර් මස අවසානය වන විට 40% දක්වා ඉහළ නංවා ගැනීමට ද මේ අනුව හැකියාව ලැබී තිබේ. තවද සමාලෝචිත මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී බැංකුවේ ශුද්ධ අත්තිකාරම් ප්‍රමාණය රුපියල් බිලියන 155 සිට රුපියල් බිලියන 172 දක්වා 11% කින් වර්ධනය වී තිබේ.

    මෙම වකවානුව තුළ බැංකුව විසින් අනුගමනය කරන ලද ණය නැවත අයකර ගැනීමේ ඵලදායී ක්‍රියාපිළිවෙත් හේතුවෙන් සිය වත්කම් පදනම මනා කොට වර්ධනය කර ගැනීමට සමත් වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙසින් 2014 දෙසැම්බර් මාසය අවසානය වන විට 7.69% ක්ව පැවති බැංකුවේ අක්‍රීය ණය අනුපාතිකය (අවිනිශ්චිත පොළිය අඩු කළ පසු) 2015 සැප්තැම්බර් මාසය වන විට 6.12% ක පහළ අගයයක් කරා ගෙන ඒමට හැකියාව ලැබී තිබේ. මෙය 2009 වසරේ සිට බැංකුව විසින් අනුගමනය කරන ලද තිරසාර හා ඵලදායී ණය නැවත අයකරගැනීමේ පරිශ්‍රමයෙහි සාර්ථක ප්‍රතිඵලයකි.

    බැංකුව විසින් ක්‍රියාවට නංවන ලද සිව් වසරක (2012-2016) උපක්‍රමික සැලසුමට අනුව ණය අත්තිකාරම්/ තැන්පතු වර්ධනය, ශාඛා ජාල ව්‍යාප්තිය, පාරිභෝගික සේවා වැඩිදියුණු කිරීම්, තොරතුරු තාක‍ෂණ යටිතල පහසුකම් ඉහළ නැංවීම්, අක්‍රීය ණය පදනම අඩු කිරීම, නව සේවා හඳුන්වා දීම, කොටස් හිමියන්ගේ අගය වැඩිකිරීම, කාර්ය මණ්ඩල සංවර්ධනය, වියදම් පාලනය යනාදී කටයුතු මෙන්ම සෙලාන් බැංකුව විසින් පසුගිය කාලය තුළ දියත් කරනු ලැබූ ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන දිවයින පුරා පිහිටි අඩු පහසුකම් සහිත පාසල් 100 ක් සඳහා පුස්තකාල 100 ක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල මෙම කාලය තුළද අඛණ්ඩව සිදුකරගෙන යන ලදී. 2013 වසරේ පටන් මේ දක්වා එවැනි පාසැල් පුස්තකාල 72 ක් ආරම්භ කිරීමට බැංකුව සමත් වී තිබේ.

    සෙලාන් බැංකුව විසින් කි්‍රයාවට නංවන ලද සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කිරීමේ වැඩපිළිවෙල පසුගිය 2015 තෙවන කාර්තුව කාලය පුරාවටම ද ඉතා සක්‍රීය අයුරින් ක්‍රියාත්මක කරනු ලැබීය. එහිදී නවතම ශාඛා 2 ක් විවෘත කරනු ලැබූ අතර, තවත් ශාඛා 12 ක් සම්පූර්ණයෙන්ම වැඩිදියුණු කරන ලදී. එසේම ගනුදෙනුකරුවන්ගේ පහසුව පිණිස තවත් ශාඛා 2 ක් යළි ස්ථානගත කරන ලදී. 2010 වසරේ පටන් 2015 සැප්තැම්බර් මස වන විට බැංකුවේ ශාඛා ජාලයෙන් 85% කට වැඩි ප්‍රමාණයක් මුළුමනින්ම නවීකරණය කර ඇත. මේ අනුව 2015 සැප්තැම්බර් 30 වනදා වන විට බැංකුවේ ශාඛා ජාලය ශාඛා 159 කින් ද, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 181 කින් හා ශිෂ්‍ය ඉතුරුම් මධ්‍යස්ථාන 93 කින් සමන්විත වී තිබේ.

    2015 තෙවන කාර්තුව අවසානයේ දී බැංකුවේ මුළු ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතිකය 13.13% ක් වන අතර මෙය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර ඇති මට්ටමට වඩා ඉහළ අගයකි. තවද 2015 ජූලි මාසය තුළ දී ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව A- lka ශ්‍රේණිය අත්පත් කර ගනිමින් සිය ස්ථායිභාවය මනාව තහවුරු කිරීමට සෙලාන් බැංකුව සමත් වී තිබේ.

    බැංකුව විසින් වාර්තා කරන ලද මෙම සුවිශේෂී කාර්යසාධනයත් සමඟම 2015 තෙවන කාර්තුව අවසානයේ දී බැංකුවේ කොටසක ඉපැයුම රුපියල් 7.91 ක් වශයෙන් වාර්තා වේ. තවද බැංකුවේ ප්‍රතිලාභ (බදු ගෙවීමට පෙර) වත්කම් සහ හිමිකම් මත ප්‍රතිලාභ පිළිවෙලින් 2.08% ක් සහ 15.03% ක් වශයෙන් වේ. 2015 සැප්තැම්බර් 30 වැනිදා වන විට බැංකුවේ කොටසක් සඳහා වන ශුද්ධ වත්කම් අගය රුපියල් 72.31 කි. (සමූහයේ මෙම අගය රුපියල් 75.76 ලෙසින් වාර්තා වේ).