ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග එක්වෙමින් ඩිජිටල් ගෙවීම් සේවාවන් පුළුල් කරයි

    February, 14, 2022

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග හවුල්කාරීත්වයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන ශාඛා පරිශ්‍රයේ CRM යන්ත්‍රයක් ස්ථාපනය කරමින් මුදල් තැන්පත් කිරීමේ සහ රක්ෂණ වාරික ගෙවීම් පහසුකම් සලසා තිබේ. මේ ඔස්සේ දිවයින පුරා පිහිටා ඇති නේෂන්ස් ට්‍රස්ට් CRM යන්ත්‍ර ජාලය හරහා සම්බන්ධ වෙමින් මුදල් තැන්පත්කිරීම සහ වාරික ගෙවීම වැනි බැංකු සේවා රැසක් ලබාගැනීමේ හැකියාව තිබේ.

    මෙම CRM යන්ත්‍රය සේවාවන් සඳහා විවෘත කිරීම පසුගියදා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන ශාඛා පරිශ්‍රයේදී පැවැත්වුණු අතර මේ සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඉහල කළමනාකාරීත්වය සහභාගී විය.

    මෙම නව CRM යන්ත්‍රය ඔස්සේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඔප්පු හිමියන්ට සුරක්ෂිතව සහ පහසුවෙන් සිය ජීවිත හා මෝටර් රථ රක්ෂණ වාරික ගෙවීමේ හැකියාව ලැබේ. එමෙන්ම මේ ඔස්සේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛාවන්හි මුදල් සෘජුව තැන්පත්කිරීමේ පහසුකම් සලසයි.

    මෙම පහසුකම දිවයින පුරා ඇති CRM යන්ත්‍ර 58 හරහා සතියේ සියලුම දිනයන්හිදී පැය 24 පුරා ලබාගත හැකි අතර මේ මගින් මුදල් ප්‍රවාහනයේ අවදානම සහ මුදල් එකතු කිරීමේ ක්‍රියාවලියේ පිරිවැය අවම කිරීමට උපකාරී වේ. එසේම ක්‍රෙඩිට් කාඩ් සඳහා ගෙවීම් සිදුකිරීම ජල බිල්පත්, විදුලි බිල්පත් සහ දදුරකථන බිල්පත් ඇතුළු ගෙවීම් රැසක් සඳහා පහසුකම් සලසයි.

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව තාක්ෂණික දැනුම ඔස්සේ වඩාත් ඵලදායී පාරිභෝගික සේවාවක් ලබාදීම සදඟා නිරන්තරයෙන් උත්සාහ දරන අතර එහි දිගුවක් ලෙස පාරිභෝගිකයන්ට රක්ෂණය යන සංකල්පය සමීප කිරීම සඳහා නව තාක්ෂණය ඔස්සේ ඔවුන්ට ආයතනය සමගින් සමිබන්ධ විය හැකි මාර්ග පුළුල් කිරීම සිදු කරයි.

    1962 වසරේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මේ වන විට දේශයේ රක්ෂකයා ලෙසින් රුපියල් බිලියන 235 ක වත්කම් සම්භාරයක් සහ රුපියල් බිලියන 134ක ජීවිත රක්ෂණ මුදලක් සමගින් ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම රක්ෂණ ආයතනය ලෙසින් වසර 60 ක විශිෂ්ටත්වය සමරයි.සිය දිගුකාලීන මුල්‍ය ස්ථාවරත්වය සඳහා AA (lka) ෆිච් ශ්‍රේණිගත කිරීම ලබාගත් ශ්‍රී ලංකාවේ එකම රක්ෂණ ආයතනය වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වෙතින් ඉහළම ජනාදරයට පත් රක්ෂණ සන්නාමය සහ වඩාත් අගනා සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙසින් අඛණ්ඩව සිවුවන වරටත් ඇගයීමට ලක්ව තිබේ. දේශයේ රක්ෂකයා ලෙසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයා ප්‍රමුඛ ආයතනයක් වීමේ මෙහෙවරක නිරතව සිටින අතර නිරන්තරයෙන් නව්‍ය රක්ෂණ විසඳුම් පාරිභෝගිකයන්ට ලබාදෙමින් 190 කට අධික ශාඛා සහ පාරිභෝගික මධ්‍යස්ථාන ජාලයක් ඔස්සේ පාරිභෝගිකයන්ට රක්ෂණ සේවා සලසයි.

    ජායාරුප - නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරී ප්‍රියන්ත තල්වත්ත මහතා, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිළධාරී චන්දන එල්. අලුත්ගම මහතා CRM යන්ත්‍රය ගණුදෙනු සඳහා විවෘත කරමින්


    අවස්ථාව සඳහා සහභාගී වූ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ නිළධාරීන්