සමාජ කතිකා සහ වැඩපොළ සහයෝගීතා සම්මාන උළෙලේ දී ඇන්ට්ලර් ජෙනරල් ඉන්ඩස්ට්‍රීස් රිදී සම්මානයෙන් පිදුම් ලබයි

    January, 7, 2016

    කම්කරු දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධන අංශය මගින් පැවැත් වූ ”සමාජ කතිකා හා වැඩපොළ සහයෝගිතාව” පිළිබඳ දීප ව්‍යාප්ත තරගාවලියේ සම්මාන ප‍්‍රදානෝත්සවය පසුගියදා කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර එහිදී ඇන්ට්ලර් ආයතන සමූහයට අයත් ”ඇන්ට්ලර් ජෙනරල් ඉන්ඩස්ටී‍්‍රස්” ආයතනය ”වසරේ සමාජ කතිකා හා වැඩපොළ සහයෝගිතා විශිෂ්ට සම්මාන” Social Dialogue & Workplace Cooperation Award of the Year 2015) හිමි කර ගත්තේය.

    නිෂ්පාදන අංශය (Manufacturing Sector) යටතේ රිදී සම්මානයෙන් (Silver Award) පිදුම් ලැබූ ඇන්ට්ලර් ජෙනරල් ඉන්ඩස්ටී‍්‍රස් ආයතනයට හිමි සම්මානය කම්කරු අමාත්‍යවරයාගේ සුරතින් ආයතනයේ අධ්‍යක්‍ෂිකා අෂානි ජයසිංහ මහත්මිය ලබා ගත්තාය.

    මෙම තරගාවලිය සඳහා දිවයිනේ සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන් විශාල ප‍්‍රමාණයක් තරග කර තිබිණි. එහිදී එ් එ් අංශවලට රන්, රිදී හා ලෝකඩ සම්මාන හිමි විය. දිවයින පුරා විසිරි ඕනෑම ආයතනයකට තරග කළ හැකි පරිදි රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව වාර්ෂිකව පවත්වන මෙම තරගාවලිය සේවා අංශය, වැවිලි අංශය, ඇඟලූම් අංශය, හා නිෂ්පාදන අංශය ආදී වශයෙන් වර්ගීකරණය කර ඇති අතර මීට සමගාමීව ගද්‍ය, පද්‍ය, රචනා, චිත‍්‍ර, පෝස්ටර්, කෙටි වීඩියෝ තරගාවලියක්ද සංවිධාන කර තිබිණි.

    මීට මාස කිහිපයකට පෙර කම්කරු දෙපාර්තමේන්තුවට අයත් කොළඹ, ගාල්ල, ගම්පහ ආදී කාර්යාලවලින් පැමිණි ඇගයීම් මඩුල්ලක් විසින් ආයතනය පරීක්‍ෂාවට ලක් කිරීමෙන් ලත් ප‍්‍රතිඵල මත මෙම ජයග‍්‍රහණය හිමි වූ අතර එහිදී ඔවුන් විසින් විශේෂයෙන් සලකා බලන ලද්දේ කාර්මික ආරවුල් අවම කරගනිමින් ආයතනය හා සේවක සේවිකා සම්බන්ධතාව යහපත් ලෙස පවත්වා ගැනීමත් එ් මඟින් යහපත් වැඩ පරිසරයක් පවත්වා ගැනීමත් සේවකයන් වෙනුවෙන් සලසා ඇති විවිධ පහසුකම් ආදිය මෙන්ම ආයතනය විසින් කරනු ලබන සමාජ සත්කාරක ව්‍යාපෘති (CSR) වැනි දේ පිළිබඳවය.

    මෙම අවස්ථාවට ඇන්ට්ලර් ජෙනරල් ඉන්ඩස්ටී‍්‍රස්හි ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමනාකරු සුනෙත් ජයසුමන, සහකාර කළමනාකරු චානක රත්නවීර, මානව සම්පත් සංවර්ධන අංශ ප‍්‍රධානී දිනේෂ් නන්දසේන ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

    ඇන්ට්ලර් ෆැබ්රික් ප‍්‍රින්ටර්ස්, ඇන්ට්ලර් ජෙනරල් ඉන්ඩස්ටී‍්‍රස් හා සුප‍්‍රකට බ‍්‍රයිටෝල් වෙළඳ නාමය පාරිභෝගිකයන් වෙත ගෙන එන ඇන්ට්ලර් ඉන්ඩස්ටී‍්‍රස් යන ආයතන වලින් සමන්විත ඇන්ට්ලර් කීර්තිමත් දේශීය ව්‍යාපාර ජාලයකි.