DHL සමාගම සිංගප්පූරුවේ ඉදිකළ ආසියා පැසිෆික් කලාපීය නවතම නව්‍යකරණ මධ්‍යස්ථානය විවෘත කරයි

    January, 25, 2016

    ලොව ප‍්‍රමුඛතම ලොජිස්ටික්ස් සමාගමක් වන DHL සමාගම එහි නවතම ආසියා පැසිෆික් කලාපීය නව්‍යකරණ මධ්‍යස්ථානය පසුගියදා සිංගප්පූරුවේදී විවෘත කළේය. ලොජිස්ටික්ස් ක්ෂේත‍්‍රයේ අනාගතයට නව දැක්මක් ලබාදීම හා ක‍්‍රමයෙන් වැඩිවන සැපයුම්දාම අවශ්‍යතාවට සරිලන ලෙස නව්‍යකරණ සිදුකිරීම මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ අරමුණ වී ඇත. ජර්මනියෙන් පිටතදී අතිවිශාල මුදලක් වැයකර ගොඩනැගූ DHL සමාගමේ පළමු නව්‍යකරණ මධ්‍යස්ථානය මෙන්ම විශේෂයෙන්ම ආසියා පැසිෆික් කලාපය වෙනුවෙන් වූ නව්‍යකරණ ලොජිස්ටික්ස් සේවා මධ්‍යස්ථානය වන්නේ ද මෙයයි. සිංගප්පූරුවේ ටැම්පයින්ස්, ලොජිස්පාර්ක් හි ඉදිකළ මෙම නව්‍යකරණ මධ්‍යස්ථානය යුරෝ මිලියන 104 ක වටිනාකමකින් යුතු කලාපීය සැපයුම්දාම නව්‍යකරණ මධ්‍යස්ථානය (ARC) තුළ පිහිටුවා ඇත.

    ‘‘වසර 2020 වනවිට DHL සමාගම ගෝලීය මට්ටමින් උපයන ආදායම සියයට 30 ක ප‍්‍රතිශතයකින් ඉපයීම අපගේ අපේක්ෂාව වී ඇත. අප පාරිභෝගිකයින්ට ලබාදෙන සේවාවන් තුළ සාර්ථක වෙනස්කම් සිදුකර නව තාක්ෂණය, ක‍්‍රියාමාර්ග හා නිෂ්පාදන තුළින් ඉදිරියට යෑම අපගේ වෙළඳපල නායකත්වයේ අපේක්ෂාව වී ඇත. ජර්මනියේ පිහිටි DHL සමාගමේ පළමු නව්‍යකරණ මධ්‍යස්ථානයේ සාර්ථකත්වයෙන් පසු නවෝත්පාදන සිදුකරන ප‍්‍රමුඛ පෙලේ තරගකරුවෙකු ලෙස අපට හිමි පුරෝගාමීත්වය අඛණ්ඩව පවත්වාගැනීමට තැබූ නව පියවරක් ලෙස මෙම මධ්‍යස්ථානය (APIC) ස්ථාපිත කිරීම හැඳින්විය හැකියි.’’ DHL සමාගමේ ප‍්‍රධාන වෙළඳ නිළධාරි බිල් මිහල් මහතා පැවසුවේය.

    ආසියා පැසිෆික් කලාපයේ ලොජිස්ටික්ස් මෙහෙයුම් තුළ වෙනසක් ඇතිකිරීමට සමත් අනාගත තාක්ෂණය APIC මධ්‍යස්ථානයේ දී දැකගත හැකිය. විශේෂයෙන්ම, මෙම නව මධ්‍යස්ථානය තුළ දැකගත හැකි අතිදියුණු තාක්ෂණික පහසුකම් ගණනාවක් ඇත. බඩු ගබඩාවේ අසුරා තිබෙන භාණ්ඩ හා එම නිෂ්පාදන පරිගණක තිරය මගින් දැකගනිමින් එම භාණ්ඩ සොයාගැනීමට අවශ්‍ය කරන ‘ස්මාර්ට් කණ්ණාඩි’, කාලය අතිශයින් වැදගත් සාධකයක් වී තිබෙන බෙහෙත් වැනි ද්‍රව්‍යය භාරදීමට අවශ්‍ය ඩ්‍රෝන් යානා, ප‍්‍රවාහනය කාර්යක්ෂමව සිදුකිරීමට අවශ්‍ය වාහන වල නඩත්තු කටයුතු ඒ මොහොතේම සිදුකිරීමට අවශ්‍ය පහසුකම්, සංවේදක මගින් ක‍්‍රියාත්මක වන යන්ත‍්‍රයෙන් යන්ත‍්‍රයට ඇති වාහන වල සංවේදක වල ක‍්‍රියාකාරීත්වය සියයට 30 කින් වැඩිකිරීම, වේගවත් රියදුරන් නොමැති ෂටල ආදිය ඒ අතරට අයත්ය.

    APIC, ලොජිස්ටික්ස් ක්ෂේත‍්‍රයේ නව්‍යකරණයන් හා නවෝත්පාදන පෙන්නුම් කරන මධ්‍යස්ථානයකට අමතරව පාරිභෝගිකයින්, ක්ෂේත‍්‍රයේ හවුල්කරුවන් හා ස්වාධීනව කටයුතු කරන විශේෂඥයින්ට කලාපීය වේදිකාවක් ද නිර්මාණය කරදෙයි. DHL සමාගමේ නව පර්යේෂණ ඔස්සේ ආසියානු කලාපයේ ලොජිස්ටික්ස් හා ආර්ථික කටයුතු නංවාලීමට ද මෙම නව්‍යකරණ මධ්‍යස්ථානය උපකාරී වනු ඇත.

    ‘‘ගෝලීය සැපයුම්දාම ක්ෂේත‍්‍රය තුළ සිංගප්පූරුවේ කාර්යභාරයට වටිනාකමක් එක්කළ තවත් සුවිශේෂී පියවරක් ලෙස සිංගප්පූරුවේදී විවෘත කළ APIC මධ්‍යස්ථානය හැඳින්වීමට හැකියි. DHL සමාගම සමග එක්වී කටයුතු කරන මේ ගමන්මගේ සුවිශේෂී හවුල්කරුවකු ලෙස දායක වන අප ඉදිරියේදී සිදුකිරීමට අපේක්ෂාවෙන් සිටින කටයුතු කිහිපයක්ම පවතියි. වෙනස් වන සැපයුම්දාම ක්ෂේත‍්‍රය, නව තාක්ෂණය හා ගෝලීය ප‍්‍රවණතා සමග බිහිවන නව අවස්ථාවන්ට පහසුකම් සැලසීම හා එම අවශ්‍යතා ඉටුකිරීමට දකුණු ආසියානු කලාපය තුළ පවතින සියලූ DHL ශාඛාවන් සමග එක්වී මනා සංවිධානයකින් යුතුව APIC මධ්‍යස්ථානය ඉදිරියේදී කටයුතු කරනු ඇත.’’ ආර්ථික සංවර්ධන මණ්ඩලයේ ලොජිස්ටික්ස් හා ස්වභාවික සම්පත් අංශයේ අධ්‍යක්ෂ ලී ඉන්ග්කීට් මහතා පැවසුවේය.

    නව්‍යකරණ මධ්‍යස්ථාන චාරිකාවන්, නවෝත්පාදන වැඩමුළු, ක‍්‍රියාකාරකම් හා සමුළු ආදී කටයුතු ද මේ වන විට APIC මගින් ලබාදෙන අනෙකුත් සේවාවන් අතරට ඇතුළත්ය. APIC මධ්‍යස්ථානය තුළ ප‍්‍රදර්ශනය කරන දෑ අතර ඉහළ තාක්ෂණයෙන් යුතු මෙවලම් විශේෂයෙන් අවධානයට ලක්කර ඇත. අනාගත ලොව වැඩකටයුතු වලට යොදාගැනීමට නියමිත ස්වයංක‍්‍රීය හා රොබෝ තාක්ෂණයෙන් ක‍්‍රියාකරන යන්ත‍්‍ර හා නවීන පහසුකම් වලින් යුතු මෙවලම් රාශියක් මෙහිදී දැකගැනීමට හැකිය.

    නවතම ආසියා පැසිෆික් කලාපීය නව්‍යකරණ මධ්‍යස්ථානයේදී විශේෂයෙන් දැකගැනීමට හැකි සුවිශේෂී පහසුකම් හා මෙවලම් ගණනාවක් ඇත. Deutsche Post DHL සමූහය සතු සුවිශේෂී පහසුකම් අතරට භාණ්ඩ ඇසුරුම් සුරක්ෂිත කරන සුවිශේෂී යන්ත‍්‍ර, හඬ හා ආලෝක තාක්ෂණය පදනම් කරගනිමින් ක‍්‍රියාත්මක වන ගබඩා ද්‍රව්‍යය ලබාගන්නා හා භාණ්ඩ ඇසුරුම් කරන සංවේදක තාක්ෂණය, අනාගත නව්‍යකරණයන් හා ලොජිස්ටික්ස් ක්ෂේත‍්‍රයේ අනාගත නව්‍යකරණ හා යෙදවුම් අන්තර්ගත නව්‍යකරණ එකතුව, 2050 වසරේදී ලොජිස්ටික්ස් ක්ෂේත‍්‍රය කෙලෙස වෙනස්වෙනු ඇත්දැයි පෙන්නුම් කරන දර්ශන එකතුව මේ අතරට ඇතුළත්ය.

    ‘‘ලොජිස්ටික්ස් ක්ෂේත‍්‍රයේ නවෝත්පාදන අතරින් ප‍්‍රමුඛස්ථානය ලබාගැනීම පිළිබඳ වූ අප බලාපොරොත්තුවේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස APIC හැඳින්විය හැකියි. ආසියානු වෙළඳපලේ අවශ්‍යතාවන් සඳහා මෙම සිංගප්පූරු මධ්‍යස්ථානය සිය සේවාවන් ලබාදෙනු ඇත. එමෙන්ම, අප පාරිභෝගිකයින්ගේ ජීවිත පහසු කරමින් පාරිභෝගිකයින්ට භාණ්ඩ සුරක්ෂිතව භාරදීමේ පොරොන්දුව ද තවදුරටත් සහතික කරනු ඇත. පර්යේෂණයන්ට මගක් පිළියෙල කිරීම පසෙකින් තිබියදී නව අත්හදාබැලීම් සිදුකිරීම හා පාරිභෝගිකයා පදනම් කරගත් නවෝත්පාදන සිදුකිරීමට ද අප අදහස් කරනවා.’’ DHL සමාගමේ ආසියා පැසිෆික් කලාපයේ, විසඳුම් හා සේවා කළමනාකරණ, නවෝත්පාදන අංශයේ, උප සභාපතිනි පැන් මි යී මහත්මිය පැවසුවාය.

    මේ වසරේ මුල්භාගයේදී සුවිශාල සාර්ථකත්වයක් හිමිකරගත් ජර්මනියේ ඉදිකළ DHL පළමු නව්‍යකරණ මධ්‍යස්ථානය ආදර්ශයට ගනිමින් සිංගප්පූරුවේ ඉදිකළ මෙම නවතම නව්‍යකරණ මධ්‍යස්ථානය නිමවා ඇත. මෙම APIC මධ්‍යස්ථානය ආසියානු වෙළඳපලට පහසුකම් සලසන, පාරිභෝගිකයා පදනම් කරගත් දෙවන නව්‍යකරණ මධ්‍යස්ථානය ලෙස ක‍්‍රියාකරන අතරතුර දී විශේෂයෙන්ම විශ්ලේෂණ හැකියාවන්, විද්‍යුත් වාණිජ හා ආසියා පැසිෆික් කලාපීය වෙළඳපලට භාණ්ඩ සුරක්ෂිතව ලබාදීමේ හැකියාවෙන් ද සමන්විතය.

    සේයා රූ සටහන - DHL සමාගමේ ආසියා පැසිෆික් කලාපීය නව්‍යකරණ මධ්‍යස්ථානයේ ස්ථාපිත කර තිබෙන ස්වයංක‍්‍රීය හා රොබෝ තාක්ෂණයෙන් ක‍්‍රියාත්මක වන මෙවලම්