ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් සමාගම රිකෝ ඒෂියා පැසිෆික් සම්මාන දිනයි

    January, 26, 2016

    ආසියා පැසිෆික් කලාපය තුළ ඉහළම වාර්ෂික කලාපීය විකුණුම් වර්ධනයක් වාර්තා කරගැනීමට සමත්වීම වෙනුවෙන් ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් සමාගමට රිකෝ ඒෂියා පැසිෆික් සමාගමේ කලාපීය හමුවේදී විශේෂ සම්මානයක් හිමිවී තිබේ. ඉන්දුනීසියාවේ බාලි නුවර පැවති මෙම සම්මාන උළෙලේදී ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් සමාගමේ සාමාජිකයන් වන දමිත් කල්දේරා, ශානක සඳරුවන්, රුවන් හිටිනායක, ඉන්ශාෆ් ලන්ත්‍රා, චන්දිම පෙරේරා, නවුශාන් රෆීල් සහ චානුක සුමිත්‍රාරච්චි යන අය විසින් මෙම සම්මාන ලබාගන්නා ලදි.

    ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් සමාගම යනු මෙරට පරිපූර්ණ ලිපිලේඛන සේවා විසඳුම් පිරිනමන සමාගම් තුනෙන් එකකි. පසුගිය වසර වනවිට එය කොටස් නිකුත් කළ සමාගමක් ලෙස වසර 50 ක කාලයක් සපුරා තිබි‚. දශක ගණනාවක් තිස්සේ ලිපිලේඛන පද්ධති කළමනාකරණය සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රමුඛ පෙළේ සමාගම් රාශියක් ගෙස්ටෙට්නර් කෙරෙහි විශ්වාසය තබා ඇත. පසුගිය වසර 5 තිස්සේ අඛණ්ඩව කැපීපෙනෙන වාර්ෂික වර්ධනයක් අත්පත් කරගැනීමටද සමාගම සමත් වී තිබේ.

    රිකෝ ඒෂියා පැසිෆික් යනු කාර්යාලයීය ඡායාපිටපත් යන්ත්‍ර, නිෂ්පාදන මුද්‍රණ විසඳුම්, ලිපිලේඛන කළමනාකරණ පද්ධති සහ තොරතුරු සේවා ආදිය සපයන ගෝලීය තාක්ෂණ සමාගමකි. රටවල් 200 ක පමණ මෙහෙයුම් ක්‍රියාත්මක කරන එහි ප්‍රධාන කාර්යාලය ජපානයේ ටෝකියෝ නගරයේ පිහිටා තිබේ. 2015 මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ රිකෝ සමූහය ලොව පුරා වාර්තා කළ අලෙවිය ඇමරිකානු ඩොලර් බිලියන 18.5 කට ආසන්න ය.

    මෙම වාර්ෂිකව හමුව රිකෝ සමූහයේ නියෝජිතයන් වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන උත්සවයකි. සම්මාන ප්‍රදානයට පෙර එහිදී නව නිෂ්පාදන හා වෙළඳපොළ ප්‍රවණතා ආදිය සාකච්ඡාවට ලක්කෙරේ. තම රටවල වෙළෙඳපොළවලදී විශේෂයෙන්ම අලෙවිය හා වෙළෙඳපොළ වර්ධනය අතින් කැපීපෙනෙන ප්‍රගතියක් අත්පත් කරගත් නියෝජිත සමාගම් ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන ප්‍රදානයේ මූලික අරමුණ වී ඇත. රිකෝ ඒෂියා පැසිෆික් සමාගමේ සභාපති නොබුඅකි මජිමා මහතා, ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී කෙන් ටොකුහිරෝ මහතා, සාමාන්‍යාධිකාරී ඛෙන් බී. ඩබ්ලිව්. චොන් මහතා සහ ක්‍රමෝපාය වෙළඳපොළ කළමනාකරු ක්‍රිස් තෑම් මහතා ඇතුළු එම සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සමාජික පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.
    සම්මාන උළෙලේදී ආසියා පැසිෆික් කලාපය තුළ බහුකාර්ය නිෂ්පාදන ඒකකවල වර්ධනය සහ අලෙවි ආදායම අතින් ලබාගත හැකි ඉහළම ඇගයීම වන, වාර්ෂික කලාපීය විකුණුම් වර්ධනය සඳහා වන සම්මානය දිනාගැනීමට ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් සමාගමට හැකියාව ලැබිණි.

    “පසුගිය වසර තුළ අපේ නිෂ්පාදන හා සේවා සඳහා ඇති ඉල්ලූම ඛෙහෙවින් ඉහළ ගියා. තම අභ්‍යන්තර කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ට පැවරෙන වැඩ රාජකාරි ප්‍රමාණය අවම කිරීම සඳහා සමාගම් හා ආයතන වැඩිවැඩියෙන් පූර්ණ ලිපිලේඛන සේවා විසඳුම් වෙත යොමුවෙමින් සිටීම මීට ප්‍රධාන හේතුවක්. මෙම ඉල්ලූම සඳහා අවශ්‍ය සැපයුම ලබාදෙන අතරම පාරිභෝගිකයන්ට වඩාත් නැවුම් හා වැඩිදියුණු කළ විසඳුම් හඳුන්වා දීමටත් ගෙස්ටෙට්නර් සමාගම නිරන්තරයෙන් කටයුතු කරනවා. ඒ උත්සාහයන් මෙසේ රිකෝ ඒෂියා පැසිෆික් සමාගමේ ඇගයීමට ලක්වීම අපට විශාල සතුටක්.“ ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චන්දිම පෙරේරා මහතා පැවසී ය.

    මේ වනවිට වේගයෙන් පුළුල් වෙමින් පවතින ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් සමාගම මගින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත සමීප කරවනු ලබන නිෂ්පාදන අතරට Ricoh, BenQ, Fujitsu සහ Lenovo වැනි සන්නාමවලට අයත් නිෂ්පාදන ඇතුළත් වී තිබේ. ඊට අමතරව නෂුආ ලංකා (පුද්.) සමාගම (ගෙස්ටෙට්නර් ඕෆ්සෙට්) සහ ගෙස්ටෙට්නර් ප්‍රින්ටින් සර්විසස් (පුද්.) සමාගම (ගෙස්ටෙට්නර් අවුට්සෝර්ස්) යන අනුබද්ධ සමාගම් හරහා සේවා සැපයීමටද ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් සමාගම පියවර ගෙන ඇත.