ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම ප්‍රථම ආදර්ශන හා පුහුණු ගොවිපළේ ඉදිකිරීම් අරඹයි

    January, 27, 2016

    ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රථම ආදර්ශන හා පුහුණු ගොවිපළේ ඉදිකිරීම් ආරම්භ කළ බව ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම නිවේදනය කළේ ය. මෙය දේශීය කිරි කර්මාන්තය නැංවීම සඳහා ෆොන්ටෙරා සමාගම සිදුකරන දීර්ඝකාලීන ආයෝජනයක තීරණාත්මක ඉදිරි පියවරකි.

    වසර 38 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම පසුගිය වසර දෙක තුළ පමණක් රටේ කිරි කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් කර ඇති ආයෝජනවල වටිනාකම රු. මිලියන 380 ඉක්මවයි. එමෙන්ම තවදුරටත් සිය හවුල්කරුවන් සමග අත්වැල් බැඳගෙන කිරි එකතු කිරීම වැඩිකිරීමට මෙන්ම කිරිවල තත්ත්වය සහ කිරිගොවීන්ගේ ආදායම ඉහළ නැංවීමට සමාගම කටයුතු කරමින් සිටී.

    "රජය මේ වනවිට ආනයනය කළ ගව ජාන භාවිතා කිරීම සහ ගොවීන් සමග එක්වී කිරි කර්මාන්තය නගාසිටුවීමට පියවර ගැනීම වැනි පියවර රැසක් ආරම්භ කර තිඛෙන නිසා රටේ කිරි කර්මාන්තය තුළ සුභදායී වෙනස්කම් රැසක් ඇතිවෙමින් තිඛෙන බව අපට පෙනී යනවා. මේ වෙනස සඳහා අපටත් විශාල දායකත්වයක් දැක්විය හැකි බව අපේ විශ්වාසයයි. කිරි ගොවිතැන සම්බන්ධ දියුණු ක්‍රමවේද භාවිතා කිරීම හා සතුන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් යොමුවන අවධානය වැඩි කිරීම ආදිය සඳහා අවශ්‍ය පුහුණුව හා යටිතල පහසුකම් සැපයීම තුළින් මේ වෙනස තවත් වේගවත් කරන්නට අපට පුළුවන්." ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ලියෝන් ක්ලෙමන්ට් මහතා පැවසී ය.

    පන්නල පිහිටා ඇති මේ නව ෆොන්ටෙරා ආදර්ශන හා පුහුණු ගොවිපළ ඉදිවන්නේ රු. මිලියන 117 ක ආයෝජනයක් සමගිනි. මෙය රටේ කිරි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ෆොන්ටෙරා දක්වන දායකත්වයේ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත.

    එමෙන්ම දේශීය කිරි කර්මාන්තය නගාසිටුවීම සඳහා තමන් දක්වන දායකත්වය ක්‍රමක්‍රමයෙන් පුළුල් කිරීමට ෆොන්ටෙරා මේ වනවිටත් කටයුතු කරමින් සිටී. 2017 වනවිට සිය සැපයුම් සම්බන්ධතා නිලධාරීන් සංඛ්‍යාව 20 සිට 40 දක්වා ඉහළ නැංවීම සමාගමේ අපේක්ෂාව වේ. ගොවීන් සමග සමීපව කටයුතු කරමින් ඔවුන්ට මගපෙන්වීම් ලබාදෙන්නේ මෙම නිලධාරීන් ය. එමෙන්ම 2017 වසර වනවිට තවත් කිරි එකතු කිරීමේ හා ශීත කිරීමේ මධ්‍යස්ථාන 5 ක් ඇතිකිරීම සමාගමේ ඉලක්කය වී තිබේ.

    "මේ නිසා ඉදිරියේදී තවත් කිරි ගොවීන් 2,000 කට ෆොන්ටෙරා වෙත කිරි සපයන්නට හැකියාව ලැබේවි. මෙය ඔවුන්ගේ ආදායම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වෙනවා. ඒ වගේම 2017 වසර වනවිට තවත් ආදර්ශන හා පුහුණු ගොවිපළ 3 ක් ඇතිකිරීමත් අපගේ බලාපොරොත්තුවක්. ඒත් මේ බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත්කිරීමට නම් අප නිසි හවුල්කරුවන් සමග අත්වැල් බැඳගත යුතුයි. ඒ වගේම ඊට අවශ්‍ය ඉඩම් සොයාගත යුතුයි."

    එළඹෙන පෙබරවාරි මස අවසානය වනවිට පන්නල ආදර්ශන හා පුහුණු ගොවිපළේ මෙහෙයුම් ආරම්භ වීමට නියමිත වේ. එහි පරිපාලන කළමනාකරුවන්, සත්ත්ව ප්‍රතිකාර විශේෂඥයන් සහ සහායකයන් වැනි තනතුරු සඳහා රැකියා අවස්ථා උදාවනු ඇත. සෑම වසරකදීම ගොවීන් 2000 කට පමණ දින 180 ක් පුරා ගොවීන්ට පුහුණුව ලබාදීම මෙහිදී සිදුවේ.

    මේ ගොවිපළ සඳහා පූර්ණ වශයෙන් ආයෝජනය කිරීම හා එය මෙහෙයවීම සිදුකරනු ලබන්නේ ෆොන්ටෙරා සමාගම මගිනි. මෙහිදී ගොවි සංචාර, ක්ෂේත්‍ර දින වැඩසටහන්, කෙටිකාලීන පාඨමාලා සහ පුහුණු වැඩසටහන් ආදිය ඔස්සේ ගොවීන්ට කිරි කර්මාන්තය සම්බන්ධයෙන් සමාගම සතු ජාත්‍යන්තර මට්ටමේ දැනුම ලබාගැනීමට හැකිවනු ඇත.

    පුහුණු වැඩසටහනේදී ප්‍රධාන වශයෙන් සත්ත්ව ආහාර, උසස් සත්ත්ව පෝෂණය, සත්ත්ව සුභසාධනය, කිරි තත්ත්ව කළමනාකරණය සහ ගොවිපළ ව්‍යාපාර කළමනාකරණය යන අංශ කෙරෙහි අවධානය යොමුවේ.

    "කිරි කර්මාන්තයේ වසර 100 කට වැඩි අත්දැකීම් ෆොන්ටෙරා සතුව තිඛෙනවා. අපගේ සමූපකාර ව්‍යුහය තැනී ඇත්තේ නිර්මාණශීලීත්වය, සාමූහිකත්වය සහ අලූත් දේවල් අත්හදාබැලීමට ඇති කැමැත්ත වැනි සාධක මතයි. මේ නිසා නවසීලන්තයේ විශේෂ පරිසර තත්ත්වයන්ට හොඳින් ගැළපෙන ක්‍රමවේද හා ක්‍රියාවලි සොයාගැනීමට අපේ කිරි ගොවීන්ට හැකියාව ලැබී තිඛෙනවා. අප ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට උත්සාහ කරන්නේත් මෙබඳු ක්‍රමයක්. අපගේ හවුල්කරුවන් සහ කිරි ගොවි පවුල් සමග එක්වී අපේ රටට හොඳින්ම ගැළපෙන ක්‍රමවේද අපි නිර්මාණය කරගත යුතුයි."

    "මේ ආකාරයට දැනුම හා පුහුණුව ලබාදීම තුළින් දේශීය කිරි ගොවීන්ට උසස් තත්ත්වයේ කිරි වැඩි ප්‍රමාණයක් නිපදවීමට හැකිවෙනවා. මේ මගින් වඩාත් තිරසාර සහ වා‚ජ වශයෙන් සාර්ථක කිරි කර්මාන්තයක් රට තුළ ඇතිකිරීමට අපට හැකියාව ලැබේවි." ක්ලෙමන්ට් මහතා අවසන් වශයෙන් පැවසී ය.

    ගොවිපළ තුළ පුහුණු මධ්‍යස්ථානයක්, සතුන්ට වැඩි ඉඩකඩක් සහිත ගවගාල් Freestall Barns), කිරි ශීතකිරීමේ පහසුකම් සහ සත්ත්ව ආහාර වගාව සඳහා වෙන්වූ ස්ථානයක්ද ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

    ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම දේශීය කිරි ගොවි ප්‍රජාවන්ට අත්වැලක් වීමටද කැපවී කටයුතු කරයි. 2014 වසරේදී බිම් මට්ටම් අරමුදල ආරම්භ කළ දා පටන් මේ දක්වා සමාගම කිරි ගොවි ප්‍රජාවන් 5 ක ව්‍යාපෘති 16 ක් සඳහා රු. මිලියන 15 ක පමණ දායකත්වයක් ලබා දී තිබේ. සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ Kansarmenn පදනම වැනි හවුල්කරුවන් සමග එක්වී කටයුතු කරමින් එය ජල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් සහ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා දායක වී ඇත.