SLIIT, ඩීකින් විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ සහභාගීත්වයෙන් පැවැති සුවිශේෂී අධ්‍යාපනික වැඩසටහන් පෙළට සත්කාරකත්වය ලබාදේ

    February, 3, 2016

    ලොව පුරා පිහිටි ප‍්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල ගණනාවක් සමග හවුල්කාරීත්වය ගොඩනගාගෙන තිබෙන SLIIT උසස් අධ්‍යාපන ආයතනය මෙරට සිසුන්ට ජාත්‍යන්තර තලයේ ඉගෙනුම් අත්දැකීම් හිිමිකරගැනීමේ අවස්ථාව හිමිකරදෙයි. SLIIT උසස් අධ්‍යාපන ආයතනය මේ වනවිට විදෙස් විශ්වවිද්‍යාල 20 කට අධික ප‍්‍රමාණයක් සමග හවුල්කාරීත්වය ඇතිකර ගැනීමට සමත් වී ඇත. මේ හවුල්කාරීත්වය ඔස්සේ පසුගියදා මෙරට දී පැවති Outbound Mobility වැඩසටහනට ඕස්ටේ‍්‍රලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් හා ආචාර්යවරු කණ්ඩායමක් දායක විය. Augmented Reality යන තේමාව යටතේ පැවති මෙම වැඩසටහන් පෙළ ජනවාරි 18 සිට 30 වැනිදා දක්වා මෙරට දී පැවැත්වුණි. SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ පරිගණක විද්‍යා හා මෘදුකාංග ඉංජිනේරු පීඨය හා ජාත්‍යන්තර සම්බන්ධීකරණ කාර්යාලයේ සහයෝගීතාවයෙන් යුතුව මෙම Outbound Mobility වැඩසටහන සංවිධානය කරන ලදී.

    ‘‘Outbound Student Mobility වැඩසටහන, SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ හා ඩීකින් විශ්වවිද්‍යාලයේ සහයෝගිතා වැඩපිළිවෙලේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස නම් කළ හැකියි. ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනික අත්දැකීමක් ලෙස ද මෙම වැඩසටහන අතිශයින් වැදගත් වෙනවා. මෙහිදී සිසුන්ට ලබාදුන් අධ්‍යාපනික හා ප‍්‍රායෝගික දැනුමට අමතරව ගාල්ල, නුවරඑළිය, නුවර හා කොළඹ ආදී ප‍්‍රදේශ ආශ‍්‍රිතව සිදුකළ සංචාරයකට ද සිසුන්ව දායක කරගත්තා. Outbound Student Mobility වැඩසටහනේ ප‍්‍රතිලාභ හිමිවන්නේ ඩීකින් විශ්වවිද්‍යාලයේ සිසුන්ට පමණක් නොවෙයි. විදෙස් විශ්වවිද්‍යාල වල සිටින සමකාලීන සිසුන් සමග එක්වී වැඩකිරීමෙන් වැඩිදුර දැනුම, අවබෝධය ලබාගැනීමට මෙන්ම වැඩිදුර අධ්‍යයන කටයුතු සිදුකිරීමට ද මෙරට සිසුන්ට අවස්ථාව ලැබෙනවා.’’ SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිළධාරි මහාචාර්ය ලලිත් ගමගේ මහතා ප‍්‍රකාශ කළේය.

    ‘‘ජීවිත කාලයටම අතිශයින් වැදගත් වන අත්දැකීම් හිමිකරගැනීමට ලැබෙන නිසා විදෙස් රටක අධ්‍යාපනය ලැබීම සිසුන්ට අතිශයින් වැදගත් වන අනාගත ආයෝජනයක් හා සමානයි. ජාත්‍යන්තර අධ්‍යාපනික වැඩසටහන් මගින් සිසුන්ට ලැබෙන හැකියාවන් තුළින් සිසුන්ගේ අනාගත වෘත්තීය ජීවිතය ද දියුණු කරගත හැකියි. Outbound Mobility වැඩසටහන සිසුන්ගේ මෘදු කුසලතා වර්ධනය කරගැනීමට ලැබෙන සුවිශේෂී අත්දැකීමක් වෙනවා. විවිධ ජාතීන් නියෝජනය කරන සිසුන් සමග එක්වී කටයුතු කිරීමට ලැබීම, නුහුරු පරිසරයක් තුළ කටයුතු කිරීම, සිසුන් තුළ විවිධ වෙනස්කම් තිබියදීත් ඔවුන්ව අගය කරමින් එකම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට සිසුන් මෙහිදී ඉගෙන ගන්නවා.’’ Outbound Mobility වැඩසටහන තුළින් සිසුන්ට ලැබෙන ප‍්‍රතිලාභ පිළිබඳ පැහැදිලි කළ SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක මහතා පැවසුවේය.

    Augmented Reality ව්‍යාපෘතිය සැලසුම් කිරීම හා සංකල්පගත කිරීම ඩීකින් විශ්වවිද්‍යාලයේ සිසුන්ට පැවරුණි. එහිදී විශේෂයෙන්ම ඔවුන් වෙත පැවරුණු වගකීම වූයේ ව්‍යාපෘතියට අවශ්‍ය රේඛා සටහන් විශ්ලේෂණය කිරීම, සැලසුම් නිර්මාණය ඇතුළු වාර්තා එකතුව සකස් කිරීම, පරිගණක වැඩසටහන් භාෂාවක් යොදාගනිමින් යෙදවුම් (Application) නිර්මාණය, ව්‍යාපෘතියේ සඳහන් කර තිබෙන පියවර අනුව සියලූ අංගයන් නිර්මාණය කිරීම, පරිගණක මෘදුකාංගය නිර්මාණය කරන අතරතුරදී ටෙස්ට් කේස් ලේඛන (Test Case) යොමුකිරීම හා ඩිප්ලෝයිමන්ට් ගයිඩ් (Deployment Guide) හා පරිශීලක අත්පොත නිර්මාණය කිරීම ආදියයි.

    ඩීකින් විශ්වවිද්‍යාලයේ සිසුන්ට මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමට හා මෙරට අසිරිය දැකගැනීමට ද හැකිවිය. මෙරට ප‍්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයක් වන SLIIT, විදෙස් විශ්වවිද්‍යාල සමග ඇතිකරගෙන තිබෙන හවුල්කාරීත්වය තුළින් මෙවැනි වැඩසටහන් දියත් කිරීම මෙන්ම සිසුන්ට මෙරට දී අධ්‍යාපනය ලබා අනතුරුව හවුල්කාරී විදෙස් විශ්වවිද්‍යාල වෙතින් සිය උපාධිය නිමාකිරීමේ අවස්ථාව සලසා දී ඇත.