ආදායම් නොපෙන්වා බදු පැහැර හරින්නන් හඳුනාගැනීමට පියවර

    March, 1, 2023

    ආදායම් නොපෙන්වා බදු ගෙවීම පැහැර හැර ඇති පිරිස් පිළිබඳ සොයා බැලීමට කඩිනම් ක්‍රමවේදයක් සකසන්නැයි
    මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස්..

    සිය ආදායම් නොපෙන්වා බදු ගෙවීම පැහැර හැර ඇති ඇතැම් වෘත්තීන්වල නිරත පිරිස් හඳුනා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දෙයි. රාජ්‍ය ආදායම පිළිබඳ දැඩි අවධානයක් යොමුව ඇති වර්තමානයේ දී බදු පැනවීම මගින් ආදායම් රැස් කිරීම හා සමාන බදු පැහැර හරින පිරිස් හඳුනා ගැනීම සම්බන්ධයෙන් ද යොමු කළ යුතු බවයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් සමග අද (01) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

    බදු ආදායම් රැස් කර ගැනීම සම්බන්ධ මතුව ඇති ගැටලු මෙහි දී සාකච්ඡා කෙරිණි. විශේෂයෙන් ම රැමිස් පද්ධතිය, නිලධාරීන්ගේ පුරප්පාඩු පිරවීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ සාකච්ඡාවේ දී අවධානය යොමු විය. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අමාත්‍ය සියඹලාපිටිය මහතා අදාළ පිරිස් සම්බන්ධයෙන් කටයුතු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මට්ටමින් කඩිනම් ක්‍රියාමාර්ග ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස උපදෙස් ලබා දුන්නේ ය.