ඩොලර් ගනුදෙනුවලට පැනවූ සීමාවක් තවත් මාස 06කට දීර්ඝ කෙරේ

    June, 13, 2023

    2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ වන නියමය

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශ මත ඇතැම් ප්‍රාග්ධන ගනුදෙනු සහ ජංගම සංක්‍රාමවලට අදාළ ප්‍රතිමුඛ ප්‍රේෂණ 2020 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීම/සීමා කිරීම සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් වරින්වර නියමයන් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

    ඒ් සම්බන්ධයෙන් අවසන් වරට 2022.12.22 දිනැතිව ප්‍රකාශයට පත් කරනූ ලැබ ඇති නියමය ක්‍රියාත්මක වීම 2023.06.30 දිනෙන් අවසන් වීමට නියමිතව තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය අනුව එකී නියමය තවත් මාස 06ක් ක්‍රියාත්මක කිරීම පිණිස 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තියේ විධිවිධාන පරිදි වන නියමයක් රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කිරීමටත්, ඉන් අනතුරුව එකී නියමය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.