බදු ප්‍රතිසංස්කරණ නිසා IT ක්ෂේත්‍රයේ පසුබෑමක්. වෘත්තිකයින්, සමාගම් රට හැර යාමේ ප්‍රවණතාවක්

    June, 21, 2023

    තොරතුරු තාක්ෂණ සහ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සමඟ ඒ ඒ ක්ෂේත්‍රවල පවතින ගැටලු සහ ඒ සඳහා ගත හැකි විසඳුම් ක්‍රියාමාර්ග පිලිබඳව පුළුල් සාකච්ඡාවක් 2023.06.09 දින ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතීත්වයෙන් රැස් වූ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු විය.

    බදු ප්‍රතිසංස්කරණ නිසා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට පසුබෑමක්

    මෑතකාලීනව හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණ නිසා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් රට හැර යාමට පෙළඹී සිටින බවත්, තොරතුරු තාක්ෂණ සමාගම් රාශියක් වෙනත් රටවල් වෙත සිය ව්‍යාපාර කටයුතු ගෙන යාමට උත්සාහ කරන බවත් මෙහිදී හෙළි විය.

    තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය යනු ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් සපයන සේවා ක්ෂේත්‍රයකි. 2019 වසරේදී එමගින් උත්පාදනය කළ ආදායම ඇ.ඩො. බිලියන 1.5 ක් වූ අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2% ක දායකත්වයකි. මෙම ආදායම තවත් ඉහළ නංවා ගැනීමේ ඉහළ භව්‍යතාවයක් පවතී. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් වෙත ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතී. ඉන්දීයාවේ දළ දේශීය නිෂ්පාදිතය සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දායකත්වය 8% ක තරම් ඉහළ අගයකි. එවැනි ඉහළ ආදායම් උත්පාදන තත්ත්වයක් වෙත ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නංවාලීම පිළිබඳ යෝජනාවලියක් එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් කමිටුවට ඉදිරිපත් කරන ලදි.

    ජාතික වෙළඳ ප්‍රතිපත්තියක අවශ්‍යතාවය අවධාරණය කෙරේ

    ජාතික වෙළඳ ප්‍රතිපත්තියකින් තොරව අත්සන් තබන ලද අවිචාරවත් ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් නිසා ශ්‍රී ලංකාවට බොහෝ පාඩු සිදු වී ඇති බව කමිටු සාකච්ඡාවේදී වෘත්තිකයන් බොහෝ දෙනෙක් විසින් පෙන්වා දෙන ලදි.

    ඉදිරියේදී සකස් වන ජාතික වෙළඳ ප්‍රතිපත්තියක අන්තර්ගත විය යුතු කේන්ද්‍රීය ලක්ෂණ ඇතුළත් යෝජනාවලියක් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් ආංශික කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලදි. ඒ අනුව ජාතික වෙළඳ ප්‍රතිපත්තියක අවශ්‍යතාවය පිළිගනිමින් එබඳු ප්‍රතිපත්තියක් ගෙන ඒම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමට තමන් සූදානම් බව ආංශික කාරක සභා සභාපති ගාමිණී වලේබොඩ මහතා වෘත්තිකයන් වෙත සහතික විය.