ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය අවම කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ නවසීලන්ත රජය එක්වෙයි

    June, 21, 2023

    නවසීලන්ත රජයේ ත්‍යාගශීලි අරමුදල් හරහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, මොනරාගල හා නුවරඑළිය යන ප්‍රදේශ වල තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාශවල වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මන්දපෝෂණය අඩු කිරීමේ අරමුණින් මේ වනවිට පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත.

    පවුල් 2,250 ක ළමයින් අතර ඇති දරුණු මන්දපෝෂණය අවම කොට පෝෂ්‍යදායි නිෂ්පාදන සඳහා වන ප්‍රවේශය වැඩි කිරීමට සහ දේශීය වශයෙන් වැඩෙන අමුද්‍රව්‍ය භාවිතයෙන් දැරිය හැකි හා පෝෂ්‍යදායි ආහාර සැකසීම සම්බන්ධයෙන් මාපියන් ඇතුළු ළමයින් රැකබලාගන්නන්ට ශක්‍යතා වර්ධන අවස්ථා සැලසීම මෙම වැඩසටහනේ මූලික ඉලක්ක බවට පත්ව තිබේ.

    දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වයට වහාම පිළියම් යෙදීම සඳහා දේශීය වශයෙන් වැඩෙන ධාන්‍ය සහ රනිල කුලයට අයත් බෝග එක් කොට සාදන ලද පිටි මිශ්‍රkයක්- බහුකාර්ය පෝෂණ අතිරේකයක් ලෙස සැපයීම වැඩසටහනේ ප්‍රධාන අංගයක් වේ. ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන කාල පරිච්ඡේදයෙන් පසුව ද වැඩසටහනේ ඉලක්ක ක්‍රියාත්මක කිරීම සහතික කරමින් මාපියන් ඇතුළු ළමයින් රැකබලාගන්නා ප්‍රජා වෙත පෝෂදායි පිටි මිශ්‍රනය සැකසීමට අවශ්‍ය උපකරණ හා දැනුම ලබා දෙනු ඇත.

    ව්‍යාපෘතියේ දිගුකාලීන තිරසාරබව වර්ධනය කිරීම උදෙසා, පෝෂ්‍යදායි ගෙවතු ඇති කිරීම සඳහා රැකබලා ගන්නන්ට ද පැළ සහ බීජ ලබා දී ඇත. ඊට අමතරව, පෝෂණයෙන් ඉහළ ආහාර සඳහා වන ප්‍රවේශය වැඩිදියුණු වන අතරවාරයේ ගෘහස්ථ ආහාර පිරිවැය අඩු කරන දේශීය පළතුරු සහ එලවළු භාවිතයෙන් වඩාත් හොඳ ‘තනි කෑම වේලක්’ සැකසීමට ඔවුන්ව පුහුණු කර ඇත.

    “ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය අවම කිරීම උදෙසා වන මෙම වැදගත් වැඩසටහන සම්බන්ධයෙන් ආහාර හා කෘෂිකර්ම සංවිධානයට සහාය දැක්වීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. සෑම දරූවකුටම පෝෂ්‍යදායි ආහාර සඳහා ප්‍රවේශය සහ දියුණු වීමට අවස්ථාව තිබිය යුතු යැයි අපි තරයේ විශ්වාස කරනවා. මන්දපෝෂණයට පිළියම් යෙදීමෙන්, ශ්‍රී ලංකාව සඳහා දීප්තිමත් හා සෞඛ්‍යමත් අනාගතයක් වෙනුවෙන් අපි ආයෝජනය කරනවා. ඊළඟ පරම්පරාවේ යහපැවැත්ම හා සංවර්ධනය සහතික කිරීම උදෙසා ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ අනෙක් හවුල්කරුවන් සමඟ එක්ව අපි අඛන්ඩව කටයුතු කරනවා.” යනුවෙන් මෙම වැඩසටහන පිළිබඳ කතා කරමින් ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා ප්‍රකාශ කළේය.

    “මන්දපෝෂණයේ බලපෑම් රටක යහපැවැත්මට එරෙහිව ඉතා දැඩි ලෙස බලපානවා. නවසීලන්ත රජයේ වටිනා අරමුදල් වලට ස්තුතිවන්ත වන්නට, මෙරට මන්දපෝෂණය අවම කිරීම සඳහා අපේ ප්‍රයත්නයන්ට ප්‍රමුඛත්වය දෙමින් සැලකිය යුතු දියුණුවක් ලබන්නට අපට හැකි වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ අවදානමට ලක්ව සිටින දරුවන්ට පෝෂ්‍යදායි ආහාර සඳහා වන ප්‍රවේශය සහ ඔවුන්ගේ සම්පූර්ණ ශක්ති සම්පන්නභාවය සඳහා ළඟා වීමේ අවස්ථාව සහතික කිරීම උදෙසා මෙම වැඩසටහන මංපෙත් විවර කර තිබෙනවා.” යනුවෙන් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහතා අවධාරණය කළේය.

    ශ්‍රී ලංකා ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ නවසීලන්ත රජය අතර හවුල්කාරීත්වයකට පැමිණෙන්නේ තීරණාත්මක අවස්ථාවක ය. ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් 2022 වර්ෂයේ දී සිදුකරන ලද අධ්‍යනයකට අනුව අවුරුදු 5 අඩු ළමුන්ගෙන් සියයට 42.9 ක් වර්ධනය අඩාල වීම, අඩුබර, දුර්වල වීම හා වැඩිම වැළකීම ඇතුළු මන්දපෝෂණයේ විවිධ ආකාරයන්ට ලක්ව ඇත.

    ශ්‍රී ලංකාව ආහාර සුරක්ෂිතතාවයෙන් යුතු ජාතියක් බවට පත් කිරීම හා රට පුරා ළමා මන්දපෝෂණය තුරන් කිරීම සඳහා සියලුම හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට වන සිය වගකීම තුළ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ස්ථීරවම රැඳී සිටියි.