ශ්‍රී ලංකාව තවත් ණය වෙයි. එකතුව ඩොලර් බිලියන 90 පනී

    June, 22, 2023

    2023 මුල් කාර්තුව තුළ දී ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 6,858 කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙය 2022 වසර අවසානය හා සැසඳීමේ දී 8% ක වැඩිවීමකි.

    මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2023 පළමු කාර්තුවෙහි ණය වාර්තාවට (Debt Bulletin) අනුව මේ බව අනාවරණය වී තිබේ.

    මෙම වාර්තාවට අනුව 2022 වසර අවසාන වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ණය ඩොලර් මිලියන 84,703 ක් වන අතර ඊට ඩොලර් මිලියන 40,123 ක දේශීය ණය, ඩොලර් මිලියන 35,976 ක විදේශ ණය සහ ඩොලර් මිලියන 3,477 ක සහතික ණය (Guaranteed Debt) මෙන්ම ඩොලර් මිලියන 5,127 ක ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය ද අන්තර්ගත වී තිබුණි.

    මෙම සමස්ත ණය ප්‍රමාණය 2023 මාර්තු මාසය අවසානය වන විට ඩොලර් මිලියන 91,561 ක් දක්වා ඉහළ ගොස් ඇත. එහිදී සමස්ත දේශීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 46,900 ක් දක්වා ත්, විදේශ ණය ඩොලර් මිලියන 36,090 ක් දත්වා ත් ඉහළ ගොස් තිබේ. සහතික ණයවල විශාල වෙනසක් මෙම කාර්තුව තුළ සිදුව නොමැති අතර එම අගය ඩොලර් මිලියන 3,506 ක් ලෙසින් සටහන්ව ඇත.

    මහ බැංකුවේ ණය ඩොලර් මිලියන 5,065 ක් දක්වා අඩු වී තිබීම විශේෂත්වයකි.

    මේ පිළිබඳ සංක්ෂිප්ත සටහනක් පහතින් දැක්වේ.