SLIIT උපාධි වැඩසටහන් අතරට වාස්තු විද්‍යා විෂය එක්වෙයි

    March, 2, 2016

    ශ‍්‍රී ලංකා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ අනුමැතිය ලත් මෙරට ප‍්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන SLIIT හි උපාධි පාඨමාලා අතරට එක්වන නවතම විෂය ධාරාව වාස්තු විද්‍යාව (Architecture) වේ.

    මාලඹේ SLIIT පරිශ‍්‍රය තුළ, ඉංජිනේරු විද්‍යා පීඨයට අනුබද්ධව ස්ථාපනය කර ඇති නව වාස්තු විද්‍යා පාසල (SSA) මගින් මෙම පාඨමාලාව පවත්වාගෙන යනු ලැබේ. SLIIT වාස්තු විද්‍යා පාසල පිහිටවනු ලැබුවේ මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම වාස්තු විද්‍යාඥයෙකු හා මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු වාස්තු විද්‍යා පීඨාධිපතිවරයකු වන මහාචාර්ය නිමල් ද සිල්වා මහතාගේ අනුදැනුම හා උපදේශකත්වය යටතේය. මෙහි ආචාර්ය මඩුල්ල ද දෙස්, විදෙස් සුදුසුකම් හා පළපුරුද්ද ලත් වාස්තු විද්‍යා හා විෂයානුබද්ධ දැනුමෙන් පරිපූර්ණ වියතුන් වීම සුවිශේෂ ලක්ෂණයකි.

    එමෙන්ම, මෙහි සිසුන්ගේ අධ්‍යාපන පහසුව සඳහා ලබාදී ඇති පහසුකම් හා අවස්ථා ද බොහෝය. පැය 24 මුළුල්ලේම පරිශීලනය කළ හැකි ජාත්‍යන්තර තත්වයට සකස් කළ වායු සමීකරණය කරන ලද ස්ටුඩියෝ (Studio) පරිශ‍්‍ර ද දේශන ශාලා ද හැරුණු විට, CAD පරිඝණක පහසුකම්, ගොඩනැගිලි ආකෘති සෑදීම සඳහා තාක්ෂණයෙන් පරිපූර්ණ 3D ප‍්‍රින්ටර්, ලේසර් කටර්, රවුටර් හා විශාල ප‍්‍රමාණයේ මුද්‍රණ යන්ත‍්‍ර වලින් සමන්විත WORKSHOP පහසුකම් ද ලබාදී ඇත. මේ සියල්ල තුළින් SLIIT වාස්තු විද්‍යා පාඨමාලාව වෙනත් විදෙස් විශ්ව විද්‍යාල හා සංසන්දනය කළ හැකි තත්වයට පත් වී ඇත.

    ''අප අධ්‍යාපන වැඩසටහන් වල ගුණාත්මකභාවය මෙන්ම සිසුන්ගේ අධ්‍යාපනික දැනුම නංවාලීම පිළිබඳ අප විශේෂ අවධානයක් යොමුකරනවා. SLIIT උපාධි වැඩසටහන් උසස් ප‍්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන යෑමට මෙන්ම යටිතල පහසුකම් දියුණු කිරීමට ද අප විසින් අඛණ්ඩව කටයුතු කරනවා. SLIIT උසස් අධ්‍යාපන ආයතනය මගින් සිසුන්ට ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මක බව පවත්වාගැනීමට වරලත් වාස්තු විද්‍යාඥයන්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයන් හා ඉහළ අධ්‍යාපන සුදුසුකම් වලින් යුතු ඉංජිනේරුවරුන් හා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් ද බඳවාගැනීම සිදුකළා. ඔවුන්ගේ පළපුරුද්ද හා විෂයානුබද්ධ දැනුම තුළින් SLIIT වාස්තු විද්‍යා පාසල ජාත්‍යන්තර මට්ටමෙන් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ඒ සමගම SLIIT ආයතනයෙන් ලබාදෙන ඉගෙනුමට අදාළ පුස්තකාල හා පර්යේෂණ පහසුකම් මෙන්ම, ක‍්‍රීඩා, කණ්ඩායම් තරග, ශිෂ්‍ය සංගම් හා අනෙකුත් බාහිර අත්දැකීම් මගින් පරිපූර්ණ මට්ටමේ විශ්වවිද්‍යාල අත්දැකීමක් හිමිකරගැනීමේ අවස්ථාවක් සිසුන්ට ලබාදී තිබෙනවා.'' මේ ලෙස පවසා සිටියේ SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිළධාරි මහාචාර්ය ලලිත් ගමගේ මහතාය.

    මෙම ආයතනයේ වාස්තු විද්‍යා අධ්‍යාපනය කොටස් දෙකක් වශයෙන් ඉදිරිපත් කෙරේ. වසර තුනක විද්‍යාවේදී (B.Sc) උපාධියක් හා වසර දෙකක විද්‍යාපති (M.Sc) පශ්චාත් උපාධියක් ලෙස සම්පූර්ණ පස් අවුරුදු වාස්තු විද්‍යා අධ්‍යාපනයක් SLIIT වාස්තු විද්‍යා පාසල මගින් ලබාදෙනු ලැබේ. මෙම උපාධි පාඨමාලා සකස් කර ඇත්තේ ශ‍්‍රී ලංකා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම (UGC) ශ‍්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය (SLIA) හා බි‍්‍රතාන්‍යය වාස්තු විද්‍යාඥයන්ගේ රාජකීය සංගමය (RIBA) යන ආයතන මගින් නිර්දේශ කර ඇති විෂය නිර්දේශ හා ආකෘති ආශ‍්‍රයෙන්ය.

    SLIIT වාස්තු විද්‍යා පාසලේ ප‍්‍රධානීත්වය දරන, එහි අංශාධිපති, වාස්තු විද්‍යාඥ අයිෂානි ජයසිංහ මහත්මියගේ අදහස වූයේ ''වාස්තු විද්‍යාඥයෙකු යනු තාක්ෂණික ඥානයෙන් පිරිපුන්, සමාජ හදගැස්ම හඳුනාගත්, යම් අවශ්‍යතාවක් මත විසඳුමක් ලබාදීම උදෙසා නිර්මාණ බිහිකරන කලාකරුවෙකි. එලෙසම ඔවුනට වෘත්තීමය වශයෙන් වාස්තු විද්‍යා ක්ෂේත‍්‍රයේ නියැලීම සඳහා අවශ්‍ය පරිපාලන හා නීතිමය දැනුම හා ඥානය ද මෙම පාඨමාලාව තුළින් විශේෂයෙන් ලබාදීමට කටයුතු සලසා ඇත'' යන්නයි.


    වාස්තු විද්‍යාඥ අයිෂානි ජයසිංහ මහත්මිය